brand logo
logo
හයිටියේ කල්ලි මර්දන මෙහෙයුමට තවත් ශ්‍රී ලාංකික හමුදා භටයින් 218ක් පිටත්ව යයි

හයිටියේ කල්ලි මර්දන මෙහෙයුමට තවත් ශ්‍රී ලාංකික හමුදා භටයින් 218ක් පිටත්ව යයි

17 October 2026


හයිටියේ ක්‍රියාත්මක කල්ලි මර්දන මෙහෙයුමට එක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 218 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.


එම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 173දෙනෙකු සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 45දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ.


හයිටියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී තිබේ.


මීට පෙර, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන්හි සාමාජිකයින් 259 දෙනෙකු ඇතුළුව 280 දෙනෙකුගෙන් සමන්විත තවත් භට පිරිසක් ඔක්තෝබර් 14 වනදා හයිටිය බලා පිටත්ව ගොස් ඇත.


මෙලෙස පිටත්ව ගිය නව භට පිරිස් හයිටියේ දැනටමත් රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික හමුදා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.


එහිදී ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් සන්නද්ධ රථ යොදා ගනිමින් මුර සංචාර සිදුකිරීම සහ ප්‍රධාන සැපයුම් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ආරක්ෂක මෙහෙයුම්වල නිරත වීමට නියමිත බව සඳහන් වේ.


මේ අතර, අදාළ මෙහෙයුමට එක්වීම සඳහා බංග්ලාදේශ හමුදා කණ්ඩායමක් ද ඔක්තෝබර් 15 වනදා සංක්‍රමණ නැවතුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


එම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සපයා ඇති අතර, එමඟින් දෙරටේ හමුදා අතර පවතින සුහදතාව සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වී තිබේ.


අනතුරුව ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ හමුදා කණ්ඩායම් දෙකම හයිටියේ GSF මෙහෙයුමට එක්වීම සඳහා එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත.

 

More News..