සෝදන කසායෙන් නාගමු ද?
17 January 2026 | කුමුදු විජේරත්න
සෝදන කසායෙන් නාගමු ද?
17 January 2026 | කුමුදු විජේරත්න
ස්නානය කිරීම දෛනික ජීවිතයේ පුරුද්දක් වුවත් ආයුර්වේදයේ මෙය ප්‍රතිකර්මයක් මෙන්ම දිනචර්යාවක් ලෙසින්ද දක්වයි. ස්නානය තුළින් පවිත්‍ර වීම පමණක් නොව මාංශපේශී ලිහිල් වීම ඛනිජ ලවණ සමට ලැබීම, සම ආශ්‍රීත සිදුරු විවෘත වී විෂ පදාර්ථ බැහැර වීම, පටකවලට තෙතමනය ලැබීම, තුවාල සුවවීම වේගවත් වීම වැනි දේ වේ. අප ස්නානය කරන ජලය සමග ඖෂධීය ගුණ සහිත නම් එය අපගේ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතට රුකුලක් වේ.
ඖෂධීය ජල ස්නානය අවුරුදු දස දහසකට පෙර යුගයේ සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පැවත එන්නකි. වර්තමානයේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතයට හුරු වීම නිසා බෝහෝ දෙනෙක් මෙම වටිනාකම් නොදනී.
ඖෂධීය ජල ස්නානය මගින් ලැබෙන ප්‍රයෝජන
මෙහිදී රුධිර සංසරණය උත්තේජනය වී සෛල තුළ විෂ පදාර්ථ බැහැර වේ.
ඖෂධවල ඖෂධීය ගුණය නොඅඩුව ශරීරයට ලැබෙයි. සන්ධි රෝග, මස්පිඬු වේදනා. වෙහෙස නිසා ශරීරය සුදුසු තෙලකින් සම්බාහනයකර ඉන්පසු වේදනා සමන ඔසු යෙදූ උණුසුම් ජලයේ ගිල්වීමෙන් ශරීර වේදනා සමනය වී සැහැල්ලුවක් දෙයි.
චර්ම රෝග සුවපත් කරයි
ශරීරයේ මාංශ පේශී ලිහිල්කර විඩාව දුරු කරයි.
සිරුරේ තෙල් ස්තරය අඩු කිරීමට ඉතා සුදුසු ප්‍රතිකාරයකි.
ශරීර දාහය, චර්ම රෝග පවතින අවස්ථාවල දී සිසිල් ජල ප්‍රතිකාර සුදුසුයි.
ශරීරයේ වර්ණය වැඩිකර ගැනීමට ද මෙම ප්‍රතිකාර සුදුසුය
ස්නානයට සුදුසු ඖෂධීය ජලය
01. ඇත්තෝර කොළ තැම්බූ ජලය
දද, කුෂ්ඨ රෝගවලදී ඇත්තෝර කොළ මිටියක් දෙකට කපා කැපූ පැත්ත දදයේ අතුල්ලා මද වේලාවකින් පසුව ඇත්තෝර කොළ තැම්බූ ජලයෙන් සේදීම සුදුසුය.
මීමැසි බඹර විෂට ඇත්තෝර කොළ යුෂ තැම්බූ ජලය ගුණදායකය.
අළුහම්වලට ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් සමග අව්වේ කකාරා ආලේප කර පැයක් පමණ හිඳ නෑම සුදුසුය.
ඉකිළි කැසීමට ඇත්තෝර දලු අමුකහ සමග ඇල්දියෙන් අඹරා ගෑම සුදුසුය.
චර්ම රෝගවලට ඇත්තෝර කොළ තැම්බූ දියෙන් සේදීම ගුණදායකය.
02. ඉරමුසු තැම්බූ ජලය
ඉරමුසු මුල් තම්බා ගත් වතුර ස්නානය කුෂ්ඨ රෝග අවස්ථාවට සුදුසු අත් බෙහෙතකි.
ඉරමුසු තැම්බූ ජලය ස්නානයෙන් හිසකෙස් වර්ධන වේගවත් කිරීමේ ගුණයක් ඇත.
03. කොහොඹ කොළ තැම්බූ ජලය
කොහොඹ කොළවලට බැක්ටීරියා, දිලීර සහ වයිරස් විනාශ කිරීමේ හැකියාව තිබේ. මේ නිසා සමේ රෝග, තුවාල සහ ආසාදනවලට ප්‍රතිකාර කිරීමට කොහොඹ කොළ තැම්බූ ජලය වඩාත් සුදුසුය. විශේෂයෙන්ම පැපොල, සරම්ප වැනි බෝවන රෝග අවස්ථාවලදී කොහොඹ කොළ යහනාවක අතුරා තැබීම සහ කොහොඹ කොළ දමා තැම්බූ ජලයෙන් ස්නානය කිරීම ජනප්‍රිය ප්‍රතිකර්මයකි. සම සහ කෙස් කළඹට හිතකර වේ. කොහොඹවල තිබෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කර සම පිරිසුදු කරයි. එමෙන්ම දද, කැසීම් සහ අනෙකුත් සමේ ආසාදන සුව කරයි.
කොහොඹවල ඇති ප්‍රති-දිලීර සහ ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා ඉස්හොරි සහ හිස්කබලේ ඇතිවන වෙනත් ආසාදන සුව කරයි. හිසකෙස් ශක්තිමත් කර හිසකෙස් වැටීම පාලනය කරයි.
04. අරළු, බුළු, නෙල්ලි තැම්බූ ජලය
අරළු, බුළු, නෙල්ලි තම්බා සෝදන්න, වෙනිවැල්ගැට තැම්බූ ජලය මගින් හිස කෙස් වැටීම පාලනය කරයි ඒමෙන්ම. අකලට හිස කෙස් පැසීම වැළැක්වීම සඳහා අමු නෙල්ලි තැම්බූ ජලයෙන් හිස සේදීම සුදුසුය.
05. කොහොඹ දලු, පින්න කොළ, නිදිකුම්බා කොළ, අමු කහ තැම්බූ ජලය
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා නිදිකුම්බා තැම්බූ දියෙන් සේදීම යෝග්‍ය වේ. නිදිකුම්බා කොළ තැම්බූ ජලය මගින් හොරි, දද, කුෂ්ඨ වැනි කැසීම ඇති කරන රෝග සඳහා ශරීරය සේදීමෙන් සුවයක් ලැබේ.
06. කොහොඹ කොළ අමු කහ තැම්බූ ජලය
07. නුග පොතු බෝ පොතු අට්ටික්කා පොතු කොළ, ගංසූරිය කොළ ඇහැළ කොළ තැම්බූ ජලය ස්නානයටත් තුවාල සේදීමට අත්තික්කා කොළ තැම්බූ ජලයත් යොදා ගනී.
08. ගම්සූරිය කොළ පොතු තම්බා එම ජලයත් ගත හැකිය. කුඹුක් කොළ කොහොඹ කොළ, අත්තික්කා පොතු එකට තැම්බූ ජලයත් සුදුසුය.
ඉහත සඳහන් ආකාරයට සෝදන කෂාය සාදාගත හැකිය. නමුත් භාවිතයේදී රෝගී අවස්ථා පිළිබඳ අවබෝධයකින් භාවිත කිරීම සුදුසුය. භාවිතයට පෙර ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගත හැකිනම් වඩා සුදුසුය.
ටී.එම්. නුවන්තිකා හර්ෂණී
ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)

