brand logo
logo
"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

22 September 2026

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත්කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) ස්ථාපිත කර තිබේ.

එම මධ්‍යස්ථානය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.

"ViYASA" ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා කටයුතු කරයි.

මෙයට සමගාමීව https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීම ද සිදු විය.

මෙහිදි අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

“මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම අපිට ලොකු ධෛර්යයක්. විශේෂයෙන්ම මෙවැනි ආයතනයක් ආරම්භ කිරීම ව්‍යාපාරිකයින්, ආයෝජකයින් ආණ්ඩු ගණනාවකින් බලාපොරොත්තු වූ දෙයක්. අපි කර්මාන්ත හා ව්‍යවසායකත්ව කටයුතු අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කළ දවසේ සිට මෙය සියලුම වාණිජ මණ්ඩලවල, අපනයන කරුවන්ගේ ව්‍යවසායකයින්ගේ ඉල්ලීමක් බවට පත්ව තිබුණා.

අපි පසුගිය වසර දෙකම මෙවැනි ආයතනයක් පිළිබඳ සැලසුම් ඇතිවයි වැඩ කළේ. කර්මාන්ත අමාත්‍යාංශය තනිව වැඩ කරන ආයතනයක් නෙවෙයි. අපි සියලු අමාත්‍යාංශ සහ ආයතන සමග එකට වැඩ කරනවා. ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට නොහැකි වීම අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. අපේ දේශපාලන ස්ථාවරය නිසා, නීතියේ සාධාරණත්වය නිසා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්, විදේශ ආයෝජකයින්, ලංකාවට ආයෝජන ගෙනත් තියෙනවා. ඉල්ලීම් ගොඩක් ඉදිරිපත් වී තිබෙනවා”

 


 

More News..