brand logo
logo
සුදු වත හැඳි කතගේ වත

සුදු වත හැඳි කතගේ වත

22 August 2026 | මිහිරි ෆොන්සේකා

බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන, දීපදුත්තමාරාමයේදීය. එකල අගමැති වූ දි.මු. ජයරත්න ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස් අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරුපුරුදුය. ඈ නන්දා මාලිනීය. සිය වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.


"කොටහේනේ හැටදෙකේ වත්ත කාසිසෙට්ටිවත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කාලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ. පුංචි කාලේ මා නිතර අසනීප වෙනවා. මැරෙන්න ගිහින් අනන්තවත් බේරුණා. අපේ අම්මා මට කියලා තියෙනවා එහෙම හොඳටම අසනීප වූ දවසක අත්තුඩාවේ ගුණරත්න නායක හාමුදුරුවෝ ඇවිත් නිවෙන්න යන පහනක් වගේ කියලා මට පිරිත් කීවා කියලා.’’


මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මුලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විස්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබීම ඔවුන් විස්මයට පත් කරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත. එනමුත් ඈ කවදාවත් තම අතීතය හැංගුවේ නැත.


මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය. උප්පැන්නේ මුලින් ඇගේ නම නන්දාය. නමුත් වත්තේ හා ගෙදර අය ඈට කතා කළේ මාලිනී යනුවෙනි. අවසානයේ ඇගේ උපැන්නයට මාලිනී නමත් එකතු වී නන්දා මාලිනී විය.


නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු කොටහේනේ කෝට් බාසුන්නැහේ ලෙස ප්‍රසිද්ධියට පත් වූයේය.


"ඒ කාලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කාලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ.


මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කට පුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි" ඈ වරක් අපට එසේ කීවාය.


කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගෙපැලේ තිබුණේ එක කාමරයකි. එක කුප්පිලාම්පුවකී. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කර තිබුණේ දහදිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය. තාත්තා හැර සියල්ලෝ නිදා ගත්තේ පැදුරේය.


පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කරන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් ගාන්ධර්වයා තාත්තාය.

‘‘මගේ පරමාදර්ශය තාත්තා. අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කාලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි, අප්‍රමාණයි.’’


තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරගත් කාසි පනම් බොහෝ අර පරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල් වැට කඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පලා නෙළන්නීය.


පෙරේරා පවුලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රි වේලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැනහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.


"අපි සරල ජීවිතයකට හුරු වුණේ නැති බැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසුදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි.’’

පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ ඇන්දේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන් ගෙන දැන් පනස් අවුරුද්දක් ගෙවිලාය. ඇඳුමන් පමණක් නොව, කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්ලේ උස්මිටිකම් ඈට තිබුණේ නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය, ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරනින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද ගියේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.


මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?

‘‘මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කරගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණයක් ලෙස හිතුවේ නෑ’’ ඈ, අපට කීවා මතකය.


නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. ගුණානන්ද විදුහලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැලඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාස්සුනැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. ‘තාත්තට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ’ යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තාය. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.


නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ කට්ට සෙරෙප්පු ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සතහයකි. කට්ටා සෙරෙප්පු දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටක ටකස් ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.


මෙකල කට්ටයාගේ කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලනී ‘හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන’ බව පසක් කළාය.


හයවැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කරගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඈ ඒ ගැන කල්පනා නොකළාය. ‘‘මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා’’ ඈ අදිටන් කර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි.

'බුදු සාධු...

බුදු සාධු...

මම සඳුන් ගසක් වෙන්නම්...

සමන් වැළක් වෙන්නනම්...

නන්දාගේ මිහිරි කටහඬ වයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.

මෙකල රේඩියෝ සිලෝනි හි සුපර් ස්ටාර් ගීත තරගයක් තිබිණි. එය නම් කර තිබුණේ ‘එයාර් ශිප් ගීත තරගය’ යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ ඉන්දියාවේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාච්චි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ සුපර් ස්ටාර් වූයේ නන්දා මාලිනිය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

‘‘සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා.’’

මේ පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල් දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ මතක් විය.

‘‘තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්’’ නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කරන දේ ගැනය. ‘‘තාත්තා පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා’’ නන්දා තාත්තාට කීවාය.

‘‘විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ’’ තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. ‘‘එහෙනම් අපි ලයිටුත් ගනිමු’’ ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

"රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්’’ ඕ මවට කීවාය.

නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය උදා වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා ගීතය පටිගත කළ මර්වින් රුද්‍රිගෝ ඈට පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය.

පෙට්ටිය උඩ නැග කියූ ගීයට ඈට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොව පිට පිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ලෙස සම්මාන ලැබුවාය. කලාකාරිනියක් වෙනුවෙන් ආචාර්ය උපාධියක් විශ්වවිද්‍යාලයකින් මුල් වරට පිරිනැමුවේ ඇගේ නමටය.

බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියූ රටක, මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය ජීවතුන් අතර සිටියදී කියූ කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

‘‘මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කාලේ මම හොඳට ලැබුවා. විවාහ වූ පසුව දරු පවුල නඩත්තු කරන්න බෝඩිංකාරයන්ට බත් උයලා වික්කා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින් අතීතය අමතක කරන කිසිම කෙනකුට අනාගතයක් නෑ, අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ, කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම සහ මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.

සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ.’’

මීට පහළොස් වසරකට පමණ ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.

නන්දා මාලිනිය ඇඟලුම් කම්හලේදී සිය ජීවන ගීතය ගැයුවාය. ‘‘ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බාසුන්නැහේ කෙනෙක්’’ ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ.

නන්දා මාලිනී ජාතියේ යශෝරාවය ය. ඉකුත් 20දා නිහඬ වූයේ ගායිකාවකගේ හඬක් නොවේ. ගායිකාවන් නම් කොතෙකුත් ඇත. ඒත් ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියකි.

ඈ ගැයුවාය මෙසේ,

‘දහසක් ඉපදී මිය යන පොළොවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි

මම මළ බව මුළු රටට දැනෙන ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි’

ඒ කතාව ඇත්තය. ඈ මිය ගියේ මුළු රටට දැනෙනා ලෙසය.

 

More News..