ලංකාවට වනජීවි දොස්තරලා 17යි
24 October 2026 | බියංකා නානායක්කාර
ලංකාවට වනජීවි දොස්තරලා 17යි
24 October 2026 | බියංකා නානායක්කාර
රෝගීන්ට ප්‍රතිකාර කරන දොස්තර මහත්තයකු වන්නට බොහෝ දෙනෙක් සිහින මැව්වාට සත්තුන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක් වන්නට සිහින දකින්නෝ අඩුය. ඒත් දොස්තරලා වන්නට සිහින දුටු සමහරුත් අන්තිමේ නවතින්නේ සත්තු දොස්තරලා වීය. ඒ, වෛද්‍ය විද්‍යාලයට යන්නට නියමිත සුදුසුකම් අහිමි වන විට, ඔවුන් තෝරාගන්නා ඊළඟ අවස්ථාව එය වන නිසාය. සාමාන්‍යයෙන් ලංකාවේ වෛද්‍ය පීඨ සඳහා වසරකට 2000ත් 2200ත් අතරේ සිසුන් ගණනක් බඳවා ගත්තද පශු වෛද්‍ය පීඨය සඳහා බඳවා ගනු ලබන්නේ සිසුන් 100ත් 120ත් අතර වූ සීමිත පිරිසකි. ඒ අනුව වසරකට පශු වෛද්‍ය වෘත්තියට එකතු වන්නේ සීයක් පමණ වූ පිරිසකි. මේ සිය දෙනා රජයේ පශු වෛද්‍යවරු ලෙසත්, වනජීවී පශු වෛද්‍යවරු ලෙසත්, පෞද්ගලික පශු වෛද්‍යවරු ලෙසත් බෙදී යති. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට බැඳුණ පශු වෛද්‍යවරුන් ආවරණය කරන්නේත් වනජීවී ක්ෂේත්රය ය. මේ ක්ෂේත්‍ර සියල්ලටම නැතිව විදෙස්ගත වන පශු වෛද්‍යවරු පිරිසක් මේ අතරේද සිටිති. දැන් දැන් ලංකාවේ පශු වෛද්‍ය පීඨයෙන් පිටවන වැඩි පිරිසක් එකතු වන්නේ පෞද්ගලික පශු වෛද්‍ය ක්ෂේත්රයටයි. පශු වෛද්‍යවරු එක්වීමට අකමැතිම ක්ෂේත්රය වනජීවී පශු වෛද්‍ය ක්ෂේත්රයයි. ලංකාව පුරා ඇති වනාන්තරවල අලි ඇතුන් ඇතුළුව වනසතුන් විශාල ගණනක් සිටියද අද මුළු ලංකාවටම සිටින්නේ වනජීවී පශු වෛද්‍යවරුන් 17 දෙනෙකි.
මේ වනවිට වනජීවී සංර•ණ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා වනජීවී පශු වෛද්‍යවරුන්ගේ තනතුරු 33ක් අනුමත වී තිබුණද, ලංකාවේ පළාත් නවයේ බෙදී ගොස් සිටින්නේ ඔය 17 දෙනාය. එයින්ද හතර දෙනෙක් සේවය කරන්නේ කොළඹ කාර්යාල වලය.
සාමාන්‍යයෙන් අලියකු වැනි වනසතෙකුට බෙහෙත් කරන්නට කැලෑවට යන්නට පශු වෛද්‍යවරු දෙදෙනකුගේ අවශ්‍යතාව ඇතත්, කිලිනොච්චිය, අම්පාර, රන්දෙණිගල වැනි වනජීවී පශු වෛද්‍ය කාර්යාලවල සේවයේ යෙදී සිටින්නේ එක් පශු වෛද්‍යවරයා බැගිනි. මේ 17 දෙනාගෙන් 7 දෙනෙක්ම වනජීවී පශු වෛද්‍යවරියන්ය.
වනජීවී දෙපාර්තමේන්තුවට පශු වෛද්‍යවරුන් කියා පිරිසක් මුල් කාලයේ සිටියේ නැත. පශු වෛද්‍ය නන්දන අතපත්තු මුල්ම වනජීවී පශු වෛද්‍යවරයා ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට එක්වන්නේ 1978 වසරේය. එදා සිට අද දක්වා වසර 48ක් ගතවී ගොස් ඇත. වරින් වර පශු වෛද්‍යවරුන් වනජීවී දෙපාර්තමේන්තුවට එක්වී වෙන්වී ගියද, කිසිදා පශු වෛද්‍යවරුන් 20ක් 30ක් වනජීවී දෙපාර්තමේන්තුවේ එකවර සේවයේ යෙදී සිට නැත. වැඩිපුරම සිට ඇත්තේ 18 දෙනෙකි. අද වනවිට වනජීවී පශු වෛද්‍යවරුන් 33 දෙනෙක් අනුමතව සිටින බව කීවද සිටින්නේ එයින් අඩකි. වසරකට සියයක් පමණ පශු වෛද්‍යවරුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සේවයට එක්වුවත් එයින් පස් හය දෙනෙකුවත් වනජීවියට සම්බන්ධ වන්නේ නැත.
‘‘ඒකට හේතු කාරණා තියෙනවා. කෙටියෙන් කීවොත් ඇඟේ අමාරුවක්, ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි වනජීවී එකට එකතු වෙන්නේ.’’
හිටපු අධ්යක්ෂ, වනජීවි දෙපාර්තමේන්තුවේ (වනජීවී සත්ත්ව හා සෞඛ්‍ය) තාරක ප්‍රසාද් ඒ ගැන කියන්නේ එහෙමය. ඔහු මේ වෘත්තියේ බොහෝ අත්දැකීම් ඇති අයෙකු සේම, ඔහු දක්ෂ වනජීවී පශු වෛද්‍යවරයකු ලෙස දශක කීපයක්ම වනජීවිය හා එක්ව සිටියේය. ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට එක්වූ දෙවැනි වනජීවී පශු වෛද්‍යවරයාය. 1996 වසරේ සහකාර අධ්යක්ෂ පශු වෛද්‍ය සේවා තනතුරට එක්වූ තාරක ප්‍රසාද්, වසර 25ක් වනජීවී දෙපාර්තමේන්තුවේ සිට වනසතුන්ට සේවය කළ අයෙකි. ඔහු මේ කියන්නට යන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට පශු වෛද්‍යවරු එක්වන්නට අකමැති ඇයි කියාය.
‘‘මුල් කාලේ වනජීවී එකට පශු වෛද්‍යවරු හිටියෙ නෑනේ. එතකොට තුවාල වුණ අලින්ට ප්‍රතිකාර කරන්න එක්ක යන්නේ රජයේ පශු වෛද්‍යවරයාව. මමත් අනුරාධපුර සිප්පුකුලම රජයේ පශු වෛද්‍යවරයාව සිටි කාලේ වනජීවියෙන් ඇවිත් එක්ක යනවා. ඒ, අපේ රාජකාරි වෙලාවෙන් (සවස 3.30) න් පස්සෙ. අපි ගිහින් රෑ 9.00 - 10.00 විතර වෙනකම් ඒ අයට සතාට ප්‍රතිකාර කරන්න උදව් කරනවා. තුවාල වුණ අලියෙකුට ප්‍රතිකාර සඳහා බෙහෙත් වර්ග සහ මාත්‍රාවන් නියම කරන්නයි අපිව එක්ක යන්නෙ. කොච්චර ප්‍රමාණයක් දෙන්නද කියලා අපි කිව්වාම වනජීවී නිලධාරීන් සතාට බෙහෙත් ගහනවා. ඒ කාලේ අලින්ට දුන්නේ බෙහෙත් (ඇන්ටිබයොටික්) විතරයි. සිහි නැති කළේ නෑ. දුවන සතාගෙ තුවාලෙට හරි ගහනවා. ඒ කාලේ වනජීවී පශු වෛද්‍යවරයකුට හිටියේ නන්දන අතපත්තු විතරයි. ඔහු හිටියෙත් කොළඹ. හදිසියකට කොළඹ ඉඳලා එන්න ඕන. ඔය කාලේ ගොඩක් වෙලාවට සත්තු මැරෙනවා. කාටවත් හරි අත්දැකීම් තිබ්බෙ නෑනේ. තුවාලේ පිරිසිදු කිරීමක් නෑ, තුවාලෙට බෙහෙත් ගහනවා. බොහොම කලාතුරකින් තමයි සතෙක් බේරුණේ.’’
රජයේ පශු වෛද්‍යවරයකුව සිටියදී වනජීවී නිලධාරීන් හා කැලෑ අස්සේ රිංගූ කාලයේ ඔහු බොහෝ අත්දැකීම් ලැබුවේය. අනතුරුව 1996 වසරේ වනජීවියට එක්වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ දෙවැනි පශු වෛද්‍යවරයා ව සහකාර අධ්යක්ෂවරයකු ලෙසිනි. කොළඹට වී නොසිට ක්ෂේත්‍ර රාජකාරිවලටම ගිය ඔහුට එදා පටන් වනජීවී පශු වෛද්‍යවරයකුගේ ජීවිතයේ දුෂ්කරතා පිළිබඳ සැබෑ අත්දැකීම් තිබුණේය. සිහි නැති නොකර තුවාලවලට බෙහෙත් කරන්නට යන අලින්ගෙන් ඇතිවුණ ජීවිත අවදානම ඔහු හොඳින් අත්වින්දේය. අලින්ගේ වාසනාවට ඔහුට තායිලන්තයෙන් අලින්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ පුහුණුවක් ලැබුණේය. ඒ පුහුණුවෙන් පසු ඔහු අලි නිර්වින්දනය කර ප්‍රතිකාර කිරීම ගැන සිතුවේය.
‘‘ඒ ගැන ඩොක්ටර් අතපත්තුගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද, ඒ කාලේ සිහි නැති කරන්න පාවිච්චි කළේ වඩා විෂ බෙහෙතක්. මං තර්ක කරලා කරලා කොහොම හරි බෙහෙත් ටික අරන් අනුරාධපුරයට ආවා. ඒ කාලේ මං අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, වව්නියාව කියන දිස්ත්‍රික්ක පහම ආවරණය කළා. අලියට සිහිය නැති කරලා ප්‍රතිකාර පටන් ගත්තා. ඒ කාලේ සිහි නැති වෙන බෙහෙත ගැහුවම අලියා පැත්ත දාලා වැටෙනවා. හදිසියේ හරි පපුවෙන් වැටුණොත් ඒ ගමන්ම අපි හය හත් දෙනෙක්ම අලියව පැත්තට පෙරළනවා. නැත්නම් පෙණහලු හිරවෙලා හුස්ම ගන්න බැරුව මැරෙනවා. බෙහෙත විදලා විනාඩි දහයක් ඇතුළත සතා හොයාගන්නත් ඕන. ඒත් හොයාගන්න බැරිවුණොත් සතා මැරෙනවා. සිහි නැති කරලා ප්‍රතිකාර කරන්න ගත්තට පස්සෙ ලොකු ප්‍රගතියක් පෙන්නුවා. වෙනදා දුවන අලියගෙ තුවාලෙට ගහපු බෙහෙත් වෙනුවට හරි විදිහට තුවාල සුද්ද කරලා නියමිත මාත්‍රාවට එකම තැනකට දෙන්න පුළුවන් වුණා. සිහි නැති නොකර බෙහෙත් කරද්දි දහ පාරක් විතර විදිනකොට එතැන සිදුරු දහයක් විතර විදෙනවා. සිහි නැති කිරීමෙන් ඒ ක්‍රමය නැතිවුණා. මාත්‍රා වෙනස් කර කර හදාගෙන තමයි පැත්ත නොවැටී හිටගෙන නිදිගන්වන බෙහෙත් මාත්‍රාවක් අපි හොයාගත්තේ.’’
කැලේට ගොස් අලියකුට ප්‍රතිකාර කිරීම කියන්නේම දුෂ්කරතා, අභියෝග රැසකට මුහුණ දීමකි. සමහර විට අලියා පන්නාගෙන එන අවස්ථාද බොහෝය. එසේ ආපිට පන්නන අලියාට ගොදුරු වූ, ජීවිත පිදූ වනජීවී නිලධාරීහුද සිටිති. ඒ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවට තවත් පශු වෛද්‍යවරු පස් හය දෙනෙක් එක්ව සිටියහ. ඔවුන් කවුරුත් රාජකාරි කළේ ඔය විදිහටමය.
‘‘අගල්වලට, ළිංවලට වැටිච්ච අලි ගොඩගන්න කොට සමහර වෙලාවට සතාට තුවාල වෙලා කියලා ගම්වැසියො අපිව ගෙන්වනවා. ඒ වගේ අවස්ථාවලත් අපි දැනගෙන යන්න ඕන ගොඩට එන අලියා අනිවාර්යයෙන් ආපිට පන්නනවා කියලා. නිර්වින්දන බෙහෙත් විදලා තියෙද්දිත් හොඬවැල හොළවනවා නම් ළඟට යන්නෙ නෑ. ගියොත් අලියා ගහනවා. හොඬ හොළවනවා කියන්නෙ හරියට සිහි නැතිවෙලා නෑ, බෙහෙත් මදිවෙලා. ඒ වගේමයි කැලේට යද්දි ටෙලිෆෝන් අරන් යන්න බෑ ඒ කාලේ. බෑම නෙවෙයි, හොඳ නෑ. අනතුරක් ඒක. අපි කැලේ ඇතුළට යන්න ඕන උඩු හුළඟෙන්, නැත්නම් අපේ ඉව අලියට කලින්ම එනවා. කැලේ හරියට දන්නෙ නැති කෙනාටත් ගමන මාරාන්තිකයි.’’
ලංකාවේ ලෙඩ වුණ සත්තු හොයාගෙන පණ උකසට තබා වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍යවරු කැලෑ අස්සට රිංගුවද පිටරටවල මේ ප්‍රතිකාර කරන්නේ පශු වෛද්‍යරයා උඩින් ගොස්ය. ඒ වගේම මේ රාජකාරියේ නිරත පශු වෛද්‍යවරුන්ට යුද්ධ කාලයේ රණවිරුවන්ට මෙන් ගෙදර හා සම්බන්ධතාද මගහැරෙන්නේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද මග හැරෙන්නේය.
‘‘මට අවුරුදු දහයක් විතර යනකල් මාතර ගෙදර හරියට යන්න බැරිවුණා. නිවාඩු අරන් මාතර ගිහින් බහිනකොටම කෝල් එකක් එනවා අලියෙක් තුවාල වෙලා, අලියෙක් වැටිලා කියලා. ඒ කාලෙ මම ජංගම දුරකථනයක් පාවිච්චි කළා. තත්ත්වය දරුණු නම් පහුවදාම යනවා. දරුණු නැත්නම් තව දවසක් ඉඳලා යනවා. කවදාවත් සම්පූර්ණ නිවාඩුවක් ගෙදර ඉන්න ලැබිලා නෑ.’’
මේ වනජීවී පශු වෛද්‍යවරයකුගේ කැලේ ජීවිතයෙන් ලබන දුෂ්කරතාවල සුළු කොටසකි. මේ වෘත්තියට බොහෝ දෙනෙක් ඇළුම් නොකරන්නට තවත් හේතු කාරණා බොහෝය.
‘‘මේ රාජකාරිය අති දුෂ්කරයි. ආව දා ඉඳන් ඉන්නෙ එළියෙ රාජකාරිවල. වෙලාවක් නෑ. දවල් වගේම මහ රෑත් යනවා. අව්ව, වැස්ස අදාළ නෑ. ගොඩබිම වගේම මඩෙත්, ගංගා, ඇළ, දොළවලිනුත් එගොඩ වෙලා යන්න ඕන. සමහර දාට බත් මුලක් බැඳගෙන ගිහිල්ලා කාලා කැලේට යනවා. ගිහින් කොයි වෙලාවට එන්න ලැබෙයිද දන්නෙ නෑනේ.
තුවාල වුණ අලියෙක් හොයාගෙන ඒ කාලේ කැලේට රිංගනකොට මට හිතෙන දේවල් ගොඩක් තිබ්බා. අද අලියට අහුවෙනවා කියලා හිතිච්ච දවස් තියෙනවා. අලියා පන්නගෙන එනකොට ගස් නැගපු වෙලාවල්, ගංගාවලට පැනපු වෙලාවල් තියෙනවා. ගඟේ අවදානම මතක් වෙන්නෙ පස්සෙයි. ඒ දුෂ්කරතා කෙනෙක් විඳියි, මේ රාජකාරිවලට අමතර දීමනාවක් හෝ දෙනවා නම්. වනජීවී පශු වෛද්‍යවරයෙක්ගේ වැටුපත් රජයේ පශු වෛද්‍යවරයෙක්ගෙ වැටුපමයි. මං රස්සාව එනකොට වැටුප තිබුණෙ රුපියල් 8000ත් 13500ත් අතරෙ. දැන් රජයේ පශු වෛද්‍යවරයෙක්ගෙ මූලික වැටුප රුපියල් 74,438. රජයේ පශු වෛද්‍ය වරයාගේ රාජකාරිය සවස 3.30න් පස්සෙ ඉවර වෙනකොට එයාට ඕන නම් පුද්ගලික සායනයක් දාගන්න පුළුවන්. වනජීවී එක්කෙනාට ඒකත් නෑ.’’
ඊට අමතරව මැරුණ සතුන්ගේ මරණ පරීක්ෂණ දුන් විට උසාවි ගානේ යෑම් ඒම්, ඒ අතරෙ ගමන් වියදම්, තෙල් වියදම් වැනි ගෙවීම් සඳහා සමහර ඉහළ නිලධාරීන්ගේ බලපෑම්වලට බඳුන් වීම්වලටද ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවේ. එක්තරා කාලයක ක්‍රමයෙන් දියුණු වෙමින් පැවති වනජීවී පශු වෛද්‍ය ක්‍රියාවලිය දැන් කඩා වැටී ඇති බව තාරක ප්‍රසාද්ගේ අදහසයි.
‘‘මේක දියුණු කරන්න කාටවත් කැමැත්තක් නෑ. දියුණු කරන්න හිතන්නෙ නෑ. වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන පශු වෛද්‍යවරු හැම දෙනාම ඒ සම්බන්ධ පශ්චාත් උපාධි පාඨමාලාවක් නිම කරනවා. මේක කරන්නෙත් රාජකාරි කරන අතරෙ රාජකාරිවලට ප්‍රමුඛත්වය දීලා. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ඔය දවස් තුන ලංකාවෙ කොහේ හිටියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මේ පශු වෛද්‍යවරු යන්න ඕන උපාධි පාඨමාලාව හදාරන්න. ඒ තරම් දුෂ්කරතා මධ්‍යයේ තමයි ඔවුන් වෘත්තීය සුදුසුකමුත් සපුරාගෙන දුෂ්කර වූ රාජකාරියක නියැළෙන්නේ. අනික වනජීවී පශු වෛද්‍යවරයෙක්ගේ රාජකාරිය අලින්ට ප්‍රතිකාර කිරීම විතරක් නෙවේ. අපේ ලෙඩ රෝග 70%ක් එන්නේ සතුන්ගෙන්. ඒ 70%නුත් 60%ක්ම එන්නෙ වනජීවීන්ගෙන්. ඒ නිසා ආවේක්ෂණ සතුන්ගේ ලෙඩ රෝග සම්බන්ධවත් අවදියෙන් ඉන්න ඕන, වාර්තා කරන්න ඕන. ඒ වගේම මිනිස්-වනජීවී ගැටුම් කළමනාකරණය කිරීමත් මේ පශු වෛද්‍යවරුන්ගේ රාජකාරියක්.’’
රජය පශු වෛද්‍යවරයෙක් බිහි කරන්නට දරන වියදම සාමාන්‍ය වෛද්‍යවරයෙක් බිහිකරන්නට දරන වියදමට වඩා වැඩිය. එසේ බිහිවන පශු වෛද්‍යවරු තෝරාගන්නේ තමන්ට කැමති ක්ෂේත්රයයි. ඒ අනුව බොහෝ දෙනෙක් කැමති, වැඩි වියදම් දරා බිහි කළද කරදරයක් නැතුව රාජකාරියත් කරගෙන, ආදායමත් උපයාගෙන සිටින්නටය. මුලින් කීවා සේ තමන්ගේ ජීවිතය අමතක කර ‘කට්ට’ කාගෙන, කැලෑ අස්සේ රිංගාගෙන රාජකාරි කරන්නට වනජීවී සංර•ණ දෙපාර්තමේන්තුවට බැඳෙන පශු වෛද්‍යවරුන්ගේ ජීවිතවලටත් මීට වඩා වටිනාකමක් හා වරප්‍රසාද දී පිළිගැනීමක් ඇති කරන්නේ නම්, මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවේ වසර ගාණක් තිස්සේ පවතින ඇබෑර්තු පිරෙනු ඇත. සමහර විට එදාට ඔවුන්ටත් මෙසේද සිතෙනු ඇත.
‘‘සියලු සතුන් මගෙ තමයි, දොස්තර හොඳ හිත මමයි.’’

