brand logo
logo
චීනය යළිත් ආසියාව දිග්විජය කරද්දී අරාබි අශ්වයෙක් පැමිණ ඔලිම්පික් ධජය රැගෙන යයි

චීනය යළිත් ආසියාව දිග්විජය කරද්දී අරාබි අශ්වයෙක් පැමිණ ඔලිම්පික් ධජය රැගෙන යයි

05 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ - ජපානයේ නගෝයා හි මිසුහෝ අලෙට්ස් ක්‍රීඩාංගණයේ සිට...

තවත් සිව් වසරක ඇවෑමෙන් හෙවත් 2030 වසරේ කටාරයේ දෝහා නගරයේදී නැවත හමුවෙනු අටියෙන්, ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය හෙවත් 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්තිය, නගෝයා හී පිහිටි දැවැන්ත මිසුහෝ ඇලෙට්ස් ක්‍රීඩාංගණයේ සනිටුහන් වද්දි, තමන් කලාපීය ක්‍රීඩාවේ පතාක යෝධයා බව චීනය යළිත් වරක් ඔප්පු කර සිටියේය.


රන් පදක්කම් 169ක් රිදී පදක්කම් 89ක් සහ ලෝකඩ පදක්කම් 83ක් ලෙසින් පදක්කම් 341ක් සහිතව ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඉහළම තැන, කැපී පෙනෙන රන් පදක්කම් පරතරයක් සහිතව චීනය විසින් දිනාගන්නා ලදි. රන් 85ක් රිදී පදක්කම් 95ක් සහ ලෝකඩ පදක්කම් 91ක් ලෙසින් සමස්ත පදක්කම් 269ක් සහිතව සත්කාරක ජපානය ආසියාවේ දෙවැනි තැනට පත්වද්දී රන් පදක්කම් 39ක් සහිතව දකුණු කොරියාව තෙවැනි තැනට පත්විය.


දකුණු ආසියාවේ ක්‍රීඩා බලපරාක්‍රමය පතුරුවන ඉන්දියාව ආසියානු කලාපයේද සිය හැකියාව පෙන්නුම් කරමින් රන් පදක්කම් 21 රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 37ක් ඇතුළුව පදක්කම් 85 ක් සමගින් පදක්කම් සටහනේ සිව්වැනි තැනට පත්විය.


රුමේෂ් තරංග විසින් හෙල්ල විසිකිරීමෙන් දිනාගත් රන් පදක්කම, කාන්තා ක්‍රිකට් අංශයෙන් දිනාගත් රිදී පදක්කම සහ පිරිමි ක්‍රිකට් අංශයේ ලෝකඩ පදක්කම ලෙස සමස්ත පදක්කම් 3ක් හිමිවූ ශ්‍රී ලංකාව එම පදක්කම් සටහනේ 28වැනි ස්ථානයට පත්වුණි.


‍මෙවර රටවල් 29ක් අවම වශයෙන් එක් රන්පදක්කම් හෝ දිනාගනිද්දී රටවල් 4 හැරුණු විට සෙසු සියලු රටවල් අවම වශයෙන් එක් පදක්කම් හෝ දිනාගැනීමට සමත්විය.


මේ ආකාරයෙන් ක්‍රීඩා 43ක, ඉසව් 469කින් පදක්කම් පදක්කම් 1568ක් බෙදී යෑම අවසානයේ මිසුහෝ අලට්ස් ක්‍රීඩාංගණයට එක්වූ 30,000ක් පමණ ප්‍රේක්ෂකයන් සහ ආරාධිතයන් මධ්‍යයේ පැවැති අදාළ සමාප්ත උළෙල සන්දර්ශන ආදිය අවම චාම් එකක් විය. 'අපගේ ජීවිතයම කැපවූ ක්‍රීඩාවක්' යන තේමාවෙන් යුතුව 2030දී පැවැත්වෙන මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක්තවය පිණිස ආසියානු ඔලිම්පික් ධජය රැගෙන යෑමට කටාරය සිය නිදහස, වීරත්වය සහ රාජකීය අභිමානයේ සංකේතයක් ලෙසින් දැක්වෙන අරාබි අශ්වයකු පිටින් ක්‍රීඩාංගණය මධ්‍යයට පැමිණීම මෙම සමාප්ති උළෙලේ වඩාත් ආකර්ශනීය අවස්ථාව බවට පත්විය.


මෙම සමාප්ති උළෙලේදී, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා විසින් ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලදි.


පැරද වූ ක්‍රීඩිකාවට පැරදීමෙන් නෙත්මිගේ පදක්කම ගිලිහෙයි


මේ අතර ශ්‍රී ලංකාවේ පදක්කම් සටහනට තවත් ලෝඩක පදක්කමක් එක්කිරීමට තිබූ ආසන්න අවස්ථාව මල්ලපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා අතින් පෙරේදා (03වැනිදා) අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.


එම පදක්කම අහිමි වුවද ආසියානු ක්‍රීඩා උළෙලේ ද්වන්ධ සටන් තරග අංශයකින් ශ්‍රී ලංකාව පදක්කමක් සඳහා වන තීරණාත්මක තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වනු ඇත.


අදාළ තරග අංශයෙන් 16 දෙනාගේ මූලික වටයේදී නෙත්මිව පරාජයට පත්කළ චීනයේ ප්‍රබල ක්‍රීඩිකා හොං කෙක්සින් රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලැබීමත් සමග, ජාත්‍යන්තර මල්ලවපොර නීතිරීතිවලට අනුව නෙත්මිට, නැවත දක්ෂතාවය උරගා බැලෙන 'රෙපෙචාජ්' වටයේ තරග කිරීමට අවස්ථාව හිමිවිය.


අදාළ රෙපෙචාජ් තරගයේදී කසකස්ථානයේ එමා ටිසිනා හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ නෙත්මි, මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරග දෙක අතුරින් පළමු තරගය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්තාය.


එම පදක්කම් තරගයේදීද නෙත්මි හට මුණගැසුනේ ආසියානු වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ශූරතාවේදී ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී තමා අතින් පරාජයට පත්වූ නිලුෆර් රයිමෝවා නම් කසකස්තාන ක්‍රීඩිකාව වූ බැවින් නෙත්මි මෙම තරගය සඳහා දැඩි බලාපොරොත්තු සහිතව ඉදිරිපත් වූණි. නමුත් සිය ප්‍රතිවාදිනිය හමුවේ ලකුණු 12-01ක අනපේක්ෂිත පරාජයකට ලක්ව නෙත්මිගේ පදක්කම් සිහිනය බොඳව ගියේය.


මෙම පරාජය හමුවේ දැඩි මානසික වේදනාවකට පත්ව සිටි නෙත්මි එම තරගයෙන් පසු මාධ්‍යය හමුවට පවා පැමිණීම ප්‍රතික්ෂේප කර සිටියාය.


අපේ පදක්කම තරිඳු ගත්තා - ලිටන් දාස් 'අරුණ'ට කියයි


පෙරේදා අාසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අංශයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බංගලිදේශය සමගින් පැවැති පන්දුවාර 20 තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීම උදෙසා තරිඳු රත්නායක තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතාව කැපී පෙනුණි.


නිෂින් හී පිහිටි කෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 166ක අභියෝගාත්මක ඉලක්කයක් බංග්ලාදේශය වෙත ලබාදුන් අතර පිළිතුරු ලෙස බංග්ලාදේශයට ලබාගතහැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 109ක් පමණි.


මෙහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 ලකුණු 21කට බිඳ වැටුණු නමුත් ශ්‍රී ලංකා ඉනිම සටන්කාමී ලකුණු එකතුවක් වෙත ගෙන යෑමට තරිඳු රත්නායක හා නායක සහන් ආරච්චිගේ සමත් වූහ. තරිඳු සහ සහන් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46කදී වාර්තා වූ ලකුණු 93ක සබඳතාව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් බලාපොරොත්තු නැංවූ සබඳතාව බවට පත්විය.


පන්දුව හොඳින් දඟකැවෙන සහ පන්දුවේ පැමිණීම පිළිබඳ නිශ්චය කිරීම අපහසු වූ තණතිල්ලේ තරිඳු පන්දු 32කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 65ක් රැස්කරද්දී, නායක සහන් ආරච්චිගේ ස්ථානෝචිත ලෙසින් පිත්ත හසුරුවමින් ලකුණු 33ක් ලැබීය. පිත්තෙන් දුන් දායකත්වයට පමණක් සීමා නොවූ තරිඳු ලකුණු 18ට කඩුලු 2ක්ද දවාගත්තේය.


එම තරගාවසානයේ පැවැති මධ්‍ය හමුවේදී, ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන් පූර්ණ ලෙස සමන්විත වූ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව වැනි අත්දැකීම් අවම කණ්ඩායමක් හමුවේ ලෝකඩ පදක්කම අහිමි වූයේ මන්දැයි බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් වෙතින් 'අරුණ' කළ විමසීමේදී "තරිඳු රත්නායක තමයි අපට ඒ පදක්කම අහිමි කළේ. ඔහු ඉතාම හොඳින් පන්දුවට පහරදුන්නා. ඒ වගේම ඉතාම හොඳින් පන්දු යැව්වා" යැයි පිළිතුරු දුනි.


ඉන්දියාව, පාකිස්තානය මෙන්ම බංග්ලාදේශයද ජාත්‍යන්තර අත්දැකීම් සහිත සිය හොඳම කණ්ඩායම් මෙම තරගාවලියට යොමු කරද්ද ශ්‍රී ලංකාව එසේ නොකළේ මන්දැයි තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු අශාන් ප්‍රියන්ජනගෙන් 'අරුණ' විමසා සිටි අතර එහිදී ඔහු


"ආසියාවේ අනෙක් ප්‍රධාන රටවල් තුනම තමන්ගේ හොඳම කණ්ඩායම් එවද්දී අපට තරමක් අත්දැකීම් අඩු කණ්ඩායමක් එවන්න වුණේ මේ තරගාවලිය ඇරැඹෙන විට අපේ ජාතික කණ්ඩායම එංගලන්තය සමග තරගාවලියක යෙදීමට සිදුවූ නිසයි. නමුත් මෙම කණ්ඩායම එක්ක අපි යම් දෙයක් කළා කියලා මම හිතනවා. ඉන්දියාව සමග තරගය අපි පරාජය වුනත් අපිට ඔවුන්ගේ පිතිහරඹය පාලනය කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. නමුත් තරගයක් දිනන්න නම් තුන් ඉරියව්වෙන්ම අපි එක වගේ සාර්ථක වෙන්න ඕනේ. අපිට අවසන් මහා තරගය අහිමි වුණේ ඒ නිසයි" යනුවෙන් පිළිතුරු දුනි.

 

More News..