2017 සිට දේශීය වෛද්‍ය ඩිප්ලෝමාධාරීන් බිහිවෙන්නේ නෑ
17 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
2017 සිට දේශීය වෛද්‍ය ඩිප්ලෝමාධාරීන් බිහිවෙන්නේ නෑ
17 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ
බටහිර මතවාදී නිලධාරීන්ගෙන් දේශීය වෙදකම ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය 14වෙනිදා කොළඹදී උද්ඝෝෂණයක නිරත වූහ. පාරම්පරික වෛද්‍ය පුහුණුව නිමකළ සිසුන්ට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ගැනීමට අවශ්‍ය විභාග කඩිනමින් පවත්වන ලෙස ද එම අවස්ථාවේ රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු, ශාස්ත්‍රීය වෛද්‍ය ආර්.එන්.පී. හේරත් සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
පාරම්පරික දේශීය වෛද්‍යවරු පිරිසක් පසුගිය දවසක ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එකතු වෙලා උද්ඝෝෂණයක නිරත වුණා. ඒ විදිහට උද්ඝෝෂණය කරලා පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ට රජයෙන් කරන්න තියෙන ඉල්ලීම මොකක්ද?
දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් යටතේ වසර පහක් පුරා සායනික පුහුණුව ලබමින් හා ශාස්ත්‍රීය ඥානය ලබාගනිමින් රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් බවට පත්වන්නට ආයුර්වේද අධ්‍යාපන සහ ආරෝග්‍යශාලා මණ්ඩලය මගින් පාරම්පරික විභාගයක් පවත්වනවා. එමගින් ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂා කරලා නීත්‍යානුකූල දේශීය පාරම්පරික වෛද්‍යවරුන් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒත් මේ වන විට ඒ ක්‍රියාවලිය නතර වෙලා තියෙන්නේ. නැවැත එම ක්‍රියාවලිය සක්‍රීය කිරීමෙන් සහ 1961 ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් පාරම්පරික වෛද්‍යවරයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වළක්වන ලෙසයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම 2017 වර්ෂයේදී වසා දමන ලද ආයුර්වේද ශාස්ත්‍රීය වෛද්‍ය විද්‍යාල නැවැත ආරම්භ කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලනවා.
මේ වනවිට පාරම්පරික වෛද්‍ය සිසුන්ගේ විභාග නතර වෙලා කියලා ඔබ කිව්වා. මොකක්ද ඒකට හේතුව?
2017 වර්ෂයේදී ආයුර්වේද ශාස්ත්‍රීය විභාග නතර කරනවා කිව්වා වගේම ආයුර්වේද වෛද්‍ය සභාව එම විභාග නතර කළා. 2017 වර්ෂයට පෙර ඉල්ලීම් කළ වෛද්‍ය සිසුන්ගේ විභාග දැනට වරින් වර පවත්වනවා. නමුත් 2017න් පසුව ඉල්ලීම් කළ සිසුන්ගේ විභාග පවත්වන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාව මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මොකක්ද කියලා අපිත් තවම දන්නේ නැහැ. ඒත් එදා සිටම දේශීය වෛද්‍ය ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන් බිහිවෙන්නේ නෑ.
ඔබ ඔය කියන විදිහට හිටිහැටියේම විභාග නතර කරන්න හේතුව මොකක්ද?
වෛද්‍ය විද්‍යාල තුළ අක්‍රමිකතා වෙනවා. ඒ නිසා ඩිප්ලෝමාව නතර කරනවා කියලයි එවකට සිටි බලධාරීන් කිව්වේ. ඒත් ඒ වෙනවා කියන අක්‍රමිකතා මොනවද කියලා එවකට සිටි වගකිවයුතු බලධාරීන් කවුරුවත් සඳහන් කළේ නැහැ. එකම අදහස් ඇති ලිපි රාශියක් මගින් මෙම විභාගය නවත්වන ලෙස ඉල්ලා සිටීම කූට අදහසකින් යුතු සංවිධානාත්මක පිිරිසක් විසින් කරන ලද්දක් බව අපි විශ්වාස කරනවා. කොහොම වුණත් යම් ආකාරයක අක්‍රමිකතා වෙනවා නම්, ඒ අක්‍රමිකතා හඳුනාගෙන ඒවා වැළැක්වීමට කටයුතු කිරීමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීම විය යුත්තේ. එහෙම නැතිව වෛද්‍ය විද්‍යාල වසා දැමීමට කටයුතු කිරීම නොවෙයි කළ යුතුව තියෙන්නේ.
පාරම්පරික වෛද්‍ය සිසුන් සඳහා අවශ්‍ය විභාග පවත්වන්නේ කුමන ආයතනයෙන් ද?
මේ විභාගය පවත්වන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන සහ ආරෝග්‍යශාලා මණ්ඩලය මගින්. දේශීය වෛද්‍ය විද්‍යාලවල කථිකාචාර්යවරුන්, වෛද්‍ය සභාවෙන් පත්කරන ලද වෛද්‍යවරුන් හා ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ වෙනවා.
පාරම්පරික වෛද්‍ය සිසුන් වෛද්‍ය විද්‍යාලවලින් ඔවුන්ට අවශ්‍ය ශාස්ත්‍රීය දැනුම ලබාගන්නවනේ. එතකොට ඒ ශිෂ්‍යයන්ට අවශ්‍ය සායනික පුහුණුව ලැබෙන්නේ කොහොමද?
වෙද පරම්පරාවක සිසුවෙක් නම් තමන්ගේ පරම්පරාවෙන් පැවැත එන වෙදකම පිළිබඳව තමන්ගේ පියාගෙන් හෝ මවගෙන් මනා පුහුණුවක් ලබනවා. මෙහිදී රෝගයට ලබාදිය යුතු ප්‍රතිකාරය, තෙල් සාත්තුව, පත්තු බැඳීම, තැවීම වැනි සායනික පුහුණුව ඔවුන් මනා ලෙස තමන්ගේ මවුපියන්ගෙන් ප්‍රගුණ කරනවා. වෙද පරම්පරම්පරාවක නොවන සිසුවෙක් පාරම්පරික වෛද්‍යවරයෙක් යටතේ සිය සායනික පුහුණුවීම් කිරීමයි සාමාන්‍යයෙන් වෙන්නේ.
මේ වනවිට කොපමණ පාරම්පරික වෛද්‍ය සිසුන් සංඛ්‍යාවක් ඔය කියන විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඉන්නවද?
මේ වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා ලිඛිත විභාගයට සහ වාචික විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පාරම්පරික වෛද්‍ය සිසුන් 1400ක් පමණ ඉන්නවා. ඔවුන් පාරම්පරික වෙදකම පවත්වාගෙන යන තම මව්පියන් යටතේ සායනික පුහුණුව මනාව සපුරාගෙන තියෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාල තුළින් ලබාගත් විෂයානුබද්ධ කාරණා පිළිබඳව මනා ශාස්ත්‍රීය දැනුමකුත් ඔවුන්ට තියෙනවා.
ඔබ වාචික විභාගය සහ ලිඛිත විභාගය යනුවෙන් විභාග වර්ග දෙකක් ගැන කිව්වා. එයින් අදහස් කරන්නේ මොකක්ද?
ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එය සමත් වූවාට පසුව එම සිසුන් නැවැත වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී වාචික පරීක්‍ෂණයකටත් සම්බන්ධ විය යුතුයි. එම වෛද්‍ය මණ්ඩලය අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම වගේම එහිදී එම ශිෂ්‍යයන් ඖෂධ හඳුනාගැනීම කරන්නේ මොන ආකාරයෙන්ද යන්නත් පරීක්ෂා කරනවා. එපමණක් නොවෙයි සායනික පුහුණුවේදී ලබාගත් පරීක්ෂණ වාර්තාවන් පවා මෙහිදී පරීක්ෂාවට ලක් කිරීමත් විශේෂත්වයක්.
ආයුර්වේද පනත සංශෝධනය කිරීමෙන් පාරම්පරික වෛද්‍යවරුන්ගේ නිදහසට බාධා එල්ල වෙනවා කියලා ඔබ කිව්වා. කොහොමද එහෙම වෙන්නේ?
මේ ක්ෂේත්‍රයට අදාළව අවස්ථා කිහිපයකදීම පනත් සංශෝධන කරලා තියෙනවා. ඖෂධ පැළෑටි වගාකිරීම නියාමනය සඳහා රෙගුලාසි පනවා තිබෙනවා. දේශීය වෛද්‍යවරයා ඖෂධ සොයා ගන්නේ තමන්ගේ ප්‍රදේශයෙන්මයි. ඒවාට අනුමැතිය ලබා දී ඔසු වගාව උද්යෝගිමත් කරනවා වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමකුයි පනත් සංශෝධන තුළින් වෙන්නේ. ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරයා සහ දේශීය වෛද්‍යවරයා පිළිබඳව විවිධ වගන්ති වෙනස් කිරීම මගින් දේශීය වෛද්‍යවරුන් බිහිවීමට තිබෙන ඉඩකඩ ඇහීරීමක් වෙන්න ඉඩ තියෙනවා.
වෛද්‍ය සභාව මගින් අනුමත කරගැනීමට උත්සාහ කරන නව පනතට අනුව ගුරු වෛද්‍යවරයකුට ඉගැන්විය හැක්කේ තමන්ගේ දරුවන්ට පමණයි කියන කතාව මොකක්ද?
ඔව්. මේ අලුත් නීති රීතිවලට අනුව ගුරු වෛද්‍යවරයකුට ඉගැන්වීමට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ දරුවන්ට පමණයි. එම ගුරු වෛද්‍යවරයාට දරුවන් නොමැති නම් ඔහුගේ ඥාති දරුවකුට පමණක් ඉගැන්වීමට හැකියාව තියෙනවා. එහෙත් වෛද්‍යවරයාට තමන්ගේ දරුවෙක් හෝ ඥාති දරුවෙක් නොමැති නම් ඔහුට තම වෛද්‍ය දැනුම කිසිවකුටවත් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. මෙවැනි පනත් සම්මත වුණොත් තවත් වසර කිහිපයකින් පාරම්පරික වෙදකම පරිහානියටම ඇදගෙන වැටෙනවා. මීට පෙර මෙවැනි දේවල් තිබුණෙ නැහැ. පාරම්පරික වෙදකම හැදෑරීමට කැමැත්තක් දක්වන සිසුන්ට පාරම්පරික වෛද්‍යවරයෙක් වෙත ගොස් රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඒ අනුව පාරම්පරික වෙදකමට කැමැත්තක් දක්වන බොහෝ අය පාරම්පරික වෛද්‍යවරුන් යටතේ සායනික පුහුණුව ලබා ගත්තා. ඒත් දැන් මේ තියෙන අනිත් තත්වයත් එක්ක ඒ විදිහට පාරම්පරික වෙදකමට කැමැත්තත් දක්වන සියලු දෙනාට අවශ්‍ය පුහුණුව ලබාගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.
පාරම්පරික වෛද්‍යවරයෙක් යටතේ පුහුණුවීම සඳහා ශිෂ්‍යයන්ට තිබිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
අතීතයේදී පාරම්පරික වෛද්‍යවරයකු යටතේ පුහුණුවට පැමිණෙන සිසුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමක් කළේ නැහැ. කොහොම නමුත් වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින් සහ පාරම්පරික වෛද්‍ය දැනුම ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් රජය පාරම්පරික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය දුන්නා. ඒ වගේම ඒ ලියාපදිංචිය ලබා නොගත් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබූ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුනුත් ඉන්නවා. ඔවුන් ඉතාමත් සාර්ථකව තම වෙදකම කරගෙන යනවා.
මෙය දඩමීමා කරගත් තවත් කණ්ඩායමක් මේ ලියාපදිංචිය අවශ්‍ය නැති බව අඟවමින් කටයුතු කරනවා. මේ අයට අවශ්‍ය පරිදි සමාජය තුළ දේශීය වෙදකමේ න්‍යායන් පවා වෙනස් කරමින් සමාජ මාධ්‍ය භාවිත කරමින් කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. මොවුන් නිසා පාරම්පරික වෛද්‍යවරයාගේ උරුමයට වගේම නීත්‍යානුකූල වෛද්‍ය කර්මයට පැමිණෙන සියළුම වෘත්තිකයන්ටත් හානියක් වෙනවා. වෛද්‍ය සභාව තුළින් නීති සම්පාදන කරලා මේ අක්‍රමිකතා නතර කළ යුතුයි කියලයි අපි කියන්නේ.
අද වන විට අපේ සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අප පෙන්වා දීලා තියෙනවා. ඒ ගැන සැකයක් නැහැ. අද දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබාදීම හැම මව්පියන්ම කරනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය අපේක්ෂා කරන සිසුන් 1400ම උසස් අධ්‍යාපනයක් ලබා සිටින්නන් බවත් සිහිපත් කළ යුතුයි. නමුත් ආයුර්වේද පනත් සංශෝධනය තුළින්, පාරම්පරික වෛද්‍ය පුහුණුව ලැබිය හැකි අවම අධ්‍යාපන සුදුසුකම් හඳුන්වා දීමට කටයුතු කිරීමට යන බවට අපට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ තීරණය ගැන අපේ අකැමැත්තක් නැහැ.
ලැබුණු තොරතුරු අනුව හඳුන්වාදීමට යන අවම අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
උසස් පෙළ සමත් වූ අයට පමණක් පාරම්පරික වෙදකම හැදෑරිය හැකියි ලෙස පනතට සංශෝධනයක් එකතු කරන්න යන බවට ආරංචියක් තියෙනවා. කොහොම නමුත් අවම අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වක් නැහැ. ඒත් යම් පාරම්පරික වෛද්‍ය ඥානයක් හිමි පවුලක දරුවෙක් උසස්පෙළ සමත්වන තෙක්ම ඔහුට අදාළ වෙදකම පිළිබඳ අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාවක් නැතිනම් එතැන ගැටලුවක් තියෙනවනේ. එම දරුවාට තමන්ගේ පරම්පරාව වෙනුවෙන් වෙදකම රැකගැනීමට අයිතියක් තිබිය යුතුයි.
මේ වන විටත් ආයුර්වේද වෛද්‍ය සභාවක් ස්ථාපිත කරලා තියෙනවනේ. එහෙම තියෙද්දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ට වෙනම වෛද්‍ය සභාවක් ඉල්ලා සිටින්නේ ඇයි?
කොහෙත්ම අපි එවැන්නක් කියන්නේ නෑ. දේශීය ආයුර්වේද වෛද්‍ය සභාව යන නමින් තිබුණු වෛද්‍ය සභාව පසුව දේශීය කොටස් ඉවත් කරලා අද වන විට ආයුර්වේද වෛද්‍ය සභාව කියලා නම් කරලා තියෙනවා. අපි ඒ සභාවෙන් පිට යන්නේ නැහැ. අපි කියන්නේ ඒ සභාව යටතේ අපේ පාරම්පරික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය දෙන්න කියලා විතරයි.
ඒත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ට වෙනම වෛද්‍ය සභාවක් අවශ්‍යයි කියලා පහුගිය දිනයක කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී බැනර් පවා ප්‍රදර්ශනය කරලා තිබුණනේ?
ව්‍යාජ වෙද පරම්පරා ගණනාවක්ම රටතුළ පවතිනවා. අපි හොර වෙද පරම්පරා කියලා කියන්නේ ඒ අයටයි. ඒ පරම්පරාවේ කෙනෙක් හෝ කණ්ඩායමක් එදා කොළඹදී පැවැත්වුණු අපේ උද්ඝෝෂණයට සහභාගී වෙලා තියෙනවා. ඔවුන් ඔබ ඔය කියන ආකාරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් මාධ්‍යයට අදහස් පළ කරලා තිබුණා. එම ඉල්ලීමට සමස්ත ලංකා රජයේ දේශීය වෛද්‍යවරන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ.

