brand logo
logo
මහනුවර ජාතික රෝහල අසළ අසරණ රෝගීන් හූරා කන ඖෂධ මාෆියාවක්

මහනුවර ජාතික රෝහල අසළ අසරණ රෝගීන් හූරා කන ඖෂධ මාෆියාවක්

06 October 2026 | කමල් සුරවීර


මධ්‍යම පළාතේ පමණක් නොව, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දහස් සංඛ්‍යාත අසරණ රෝගීන්ගේ ජීවිත සුවපත් කරන ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන්නේ මහනුවර ජාතික රෝහලයි.


අසරණකම සහ රෝගී පීඩාව දරාගෙන රෝහල වෙත පැමිණෙන ජනතාවට, රෝහල තුළ යම් කිසි ඖෂධයක් හෝ සෞඛ්‍ය උපකරණයක් නොමැති වූ විට සිදුවන්නේ වෛද්‍යවරුන් ලබා දෙන තුණ්ඩුව රැගෙන රෝහලෙන් පිටතට ගොස් ලබා ගැනීමටයි.


​නමුත්, රෝහල ඉදිරිපිට පිහිටි ඇතැම් ඖෂධ සැල් විසින් මෙම හදිසි හා අසරණ අවස්ථාව අයුතු ලෙස උපයෝගී කරගනිමින් මහා පරිමාණ ජාවාරමක නිරත වන බවට රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙති.


​මෙම ජාවාරමේ ස්වභාවය වනුයේ රෝහල තුළ හිඟ ඖෂධ සහ උපකරණ මොනවාද යන්න පිළිබඳව රෝහල ඉදිරිපිට ඇති ඖෂධසැල් වෙත මනා අවබෝධයක් තිබීම වීමය.


​මෙම කූට වෙළඳුම් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම සිදු කළද, රෝගියාට වෙනත් විකල්පයක් නොමැති බවත්, ක්ෂණිකව ඖෂධ සොයා ගැනීමේ හදිසි අවශ්‍යතාවත් පිළිබදවත් හොඳින්ම දන්නා මොවුන් වෙළඳපොළේ මිලට වඩා දෙගුණයකට ආසන්න මුදලකට ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන බව සිදුවීමට මුහුණ පෑ ජනතාව පවසති.


මහනුවර නගරයේ සාමාන්‍ය ඖෂධ සැලකින් රුපියල් 150 ක් වැනි මුදලකට ලබාගත හැකි තුවාල වෙළුම් පටියක් , රෝහල ඉදිරිපිට පිහිටි ඖෂධසැල්වලින් රුපියල් 300 ක් වැනි අධික මුදලකට විකුණනු ලබයි.


මෙම බහුතර ඖෂධ අලෙවිහල්වල බහුතර ඖෂධ අලෙවි කරනුයේ නියමිත මිලට වඩා කීප ගුණයක් වැඩි කිරීමෙන් පසු බව මෙම ගැටළුවට මුහුණ පෑ ජනතාව පෙන්වා දෙති.


​​දුරබැහැර සිට යාන්තමින් බස් ගාස්තු සොයාගෙන, නොමිලේ ලබාදෙන රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පිහිට පතා පැමිණෙන අහිංසක රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාති හිතවතුන්ට මෙම කළු කඩ ක්‍රමය මහත් හිසරදයක් මෙන්ම දරාගත නොහැකි ආර්ථික පීඩනයක් වී ඇත.


ජීවිතයත් මරණයත් අතර සටන් කරන රෝගියා වෙනුවෙන් කෙසේ හෝ මුදල් සොයා දී ඖෂධ ලබා ගැනීමට සිදු වීම නිසා ජනතාව දැඩි අසරණභාවයකට පත්ව සිටිති.

​

​මෙම සංවිධානාත්මක ඖෂධ මාෆියාව වහාම නතර කිරීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි.


​පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් රෝහල් ආශ්‍රිත ඖෂධසැල් ක්ෂණික පරීක්ෂාවට ලක් කිරීම, නියමිත පාලන මිලගණන් අභිබවා අසාධාරණ ලෙස ලාභ ලබන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම.



රෝහල තුළ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයකින් තොරව පවත්වා ගැනීමට පියවර ගැනීම රජය සතු වගකීමක් බව ජනතාව පවසති.


​රෝගීන්ගේ අසරණකම මුදලට ලංසු තබන මෙම අසාධාරණ කළු කඩ මාෆියාව වහාම නතර කර අසරණ රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉෂ්ට කිරීමට කටයුතු කරනා ලෙස පීඩාවට පත් ජනතාව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

 

More News..