සෞදි - යේමන ප්‍රහාර දරුණු අතට
06 October 2026
සෞදි - යේමන ප්‍රහාර දරුණු අතට
06 October 2026
සෞදි අරාබියේ ගුවන්තොටුපළවල්, තෙල් පිරිපහදුවක් සහ රාජ්‍යයේ ස්ථාන රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් පවසයි.
ඔවුන් පැවසුවේ, සෞදිය ඉලක්ක කරගනිමින් මෙහෙයුම් තුනක් දියත් කළ බවය.
ඉන් පළමු මෙහෙයුම රියාද් අගනුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් සිදු කර ඇත.
දෙවන මෙහෙයුම බටහිර සෞදි අරාබියේ රතු මුහුදු වෙරළබඩ නගරයක් වන රබිග්හි පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුව ඉලක්ක කර එල්ල වී තිබේ.
තෙවන මෙහෙයුම මඟින් අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කමීස් මුෂායිට් අසල පිහිටි කිං කාලිඩ් ගුවන් හමුදා කඳවුර, අසීර් කලාපයේ අකීෆා හමුදා කඳවුර මෙන්ම නජ්රාන් සහ ජාසාන් යන ප්‍රදේශවල පිහිටි වැදගත් ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කළ බව ද හූති කැරලිකරුවන් වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි බලධාරීන් මේ වන තෙක් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැත.
හූති කැරලිකරුවන් සඳහන් කළේ, පසුගිය පැය 24 පුරා යේමනයේ හූති පාලන ප්‍රදේශ ඉලක්ක කරමින් සෞදිය එල්ල කළ ප්‍රහාර 60කට පිළිතුරු ලෙස මෙම මෙහෙයුම් දියත් කළ බවය.
මේ අතර, යේමනයේ බටහිර හොඩෙයිඩා පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී දකුණු රතු මුහුදු නාවික මාර්ග ඉලක්ක කරගනිමින් එල්ල වීමට තිබූ හූති ප්‍රහාර සැලසුමක් ව්‍යර්ථ කළ බව සෞදි අරාබිය පවසයි.
එම මෙහෙයුමේදී හූති හමුදා ඉලක්ක, ආයුධ ගබඩා මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සවි කළ බෝට්ටු සහ නාවික බෝම්බ ගබඩා කර තිබූ ස්ථාන විනාශ කළ බව සෞදි ප්‍රකාශක ටුර්කි අල්-මලිකි (Turki Al-Maliki) සිය 'X' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
බබ් අල්-මන්ඩබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම සිදු කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය ජූලි මාසයේදී සෞදි නාවික ප්‍රවාහන කටයුතු සඳහා තහනමක් පැනවූ හූති කණ්ඩායම, එතැන් පටන් සෞදි අරාබියට අයත් තෙල් නැව් සහ තෙල් පහසුකම් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.
යේමනයේ හූති කණ්ඩායම සහ සෞදි අනුග්‍රහය ලබන යේමන රජයේ හමුදා අතර නිරිතදිග යේමනයේ පවතින ගැටුම් උග්‍රවීමත් සමඟ මෙම නවතම තත්ත්වය මතුව ඇත.
2014 අගභාගයේදී හූතිවරුන් යේමනයේ සනා අගනුවර සහ උතුරු යේමනයේ බලය ඇල්ලීමත් සමඟ ආරම්භ වූ මෙම අර්බුදයට, 2015 දී සෞදි ප්‍රමුඛ හමුදා මැදිහත් විය.

