පාපැදි සහ බැඩ්මින්ටන් සඳහාත් පරිවර්තන කමිටු
26 October 2026
පාපැදි සහ බැඩ්මින්ටන් සඳහාත් පරිවර්තන කමිටු
26 October 2026
පාපැදි, බැඩ්මින්ටන් සහ මෝටර් රථ ක්රීඩා යන ක්රීඩා සම්මේලන තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්රීඩා අමාත්යවරයා 2026 ඔක්තෝබර් මස 20 වැනිදා දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදන මගින් කටයුතු කර ඇති අතර පාපැදි සහ බැඩ්මින්ටන් ක්රීඩා සඳහා පරිවර්තන කමිටු පත් කිරීමටද කටයුතු කර ඇත. ඒ අනුව වරින් වර ලියාපදිංචි අත්හිටුවීමට කටයුතු කිරීමෙන් අනතුරුව ක්රීඩා අමාත්යාංශයේ සෘජු පාලනයට හෝ අමාත්යාංශය මගින් නම් කළ කමිටුවල පරිපාලනය යටතට මේ වන විට පත් කර ඇති ක්රීඩා ගණන 10කි. පාපැදි, බැඩ්මින්ටන්, මෝටර් රථ ක්රීඩා, කායවර්ධන, කරාතේ දෝ, කැරම්, හොකී, සැහැල්ලු පන්දු ක්රිකට්, එල්ලේ, ක්රිකට් එම ක්රීඩා වේ.
1973 අංක 25 දරන ක්රීඩා පනතේ 32 සහ 33 වගන්ති අනුව ක්රීඩා අමාත්යයවරයාට පැවැරී ඇති බලතල ප්රකාරව අදාළ ක්රීඩා සම්මේලනවල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත. මෝටර් රථ ක්රීඩා සම්මේලනයේ පවතින ව්යයවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කරගැනීම සඳහාත්, නව නිලධාරින් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්රියාවලිය සම්පූර්ණ කරගැනීම සඳහාත් 2026 ඔක්තෝබර් මස 15 වැනිදා සිට ක්රියාත්මක පරිදි තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඇත. ඒ අනුව සංශෝධිත ව්යවස්ථාව යටතේ වාර්ෂික මහ සභා රැස්වීමකදී පැවැත්වෙන නිලවරණයකදී, නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් සම්මේලනයෙහි කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ක්රීඩා අමාත්යාංශ ලේකම්වරයා වෙත බලය පවරා තිබේ.
එමෙන්ම ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කරමින් 2025 අගෝස්තු මස 21 වැනිදා ප්රකාශයට පත් කරන ලද අංක 2450/42 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නිවේදනය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර පාපැදි ක්රීඩාව පරිවර්තනය කිරීම සඳහා අනුර මහ ආරච්චිගේ සභාපතිත්වය යටතේ පංච පුද්ගල ශ්රී ලංකා පාපැදි පරිවතන කමිටුව පත් කර තිබේ. සිදු වී ඇති වංචා දූෂණ සහ වෙනත් අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, ශ්රී ලංකා පාපැදි සම්මේලනය සඳහා නව ව්යවස්ථාවක් සම්මතකිරීම, ශ්රී ලංකා පාපැදි සම්මේලනය සඳහා නව ව්යවස්ථාව යටතේ සුදුසුකම්ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනය සඳහා නව ව්යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම ඇතුළු කටයුතු පැවරූ අදාළ පරිවතන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් චන්දන රත්නායක (විශ්රාමික), ආර්. චන්ද්රසේකර, උපාලි රත්නායක සහ කුසලානි වික්රමරත්න නම් කර ඇත.
එලෙසින්ම ලියාපදිංචිය තාවකාලිකව අත්හිටවූ බැඩ්මින්ටන් සම්මේලනය සඳහා ද පංච පුද්ගල පරිවතන කමිටුවක් නම් කර ඇත. සිදු වී ඇති වංචා දූෂණ සහ වෙනත් අක්රමිකතා විමර්ශනය, බැඩ්මින්ටන් සඳහා නව ව්යවස්ථාවක් සම්මත කිරීම, ඒ යටතේ සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ශ්රී ලංකා බැඩ්මින්ටන් සඳහා නව ව්යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම ඇතුළු කටයුතු වෙනුවෙන් පත් කළ ශ්රී ලංකා බැඩ්මින්ටන් පරිවතන කමිටුවේ සභාපති ලෙස එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර නම් කර ඇති අතර නිලූක කරුණාරත්න මහතා, මිලින්ද සූරිය ආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්රී ලාල් සෙසු සාමාජිකයන් වේ.
මේ අතර ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් ප්රකාශයට පත් කරමින් කායවර්ධන සහ කරාතේ දෝ සම්මේලනවල ද ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමටත්, තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කිරීමටත් ඇමැතිවරයා කටයුතු කළේය.

