brand logo
logo
'බස් ලලිත්' කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන යයි

'බස් ලලිත්' කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන යයි

25 August 2026


ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.


අද (25) අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.


ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසිනි.


කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියේය.


'බස් ලලිත්' නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.


අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.


මේ අතර, 2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුටග් නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.


2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතලළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් බස් ලලිත්ට එරෙහිව නිකුත් කර තිබේ.

 

More News..