ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්
03 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ ජපානයේ නිෂින් සිට
ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්
03 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ ජපානයේ නිෂින් සිට
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අංශය යටතේ පැවැත්වෙන ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 166ක අභියෝගාත්මක ඉලක්කයක් බංගලිදේශය වෙත ලබාදීමට සමත්විය.
බංගලිදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ නියොජනය කරන කණ්ඩායම හමුවේ දෙවැනි පෙළ කණ්ඩායමක් බඳු ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 ලකුණු 21කට බිඳ වැටුණු නමුත් ශ්‍රී ලංකා ඉනිම සටන්කාමී ලකුණු එකතුවක් වෙත ගෙන යෑමට තරිඳු රත්නායක හා නායක සහන් ආරච්චිගේ සමත් වූහ.
පන්දුව හොඳින් දඟකැවෙන සහ පන්දුවේ පැමිණීම පිළිබඳ නිශ්චය කිරීම අපහසු වූ නිෂින් හී පිහිටි කෝගි ස්පෝර්ට්ස් පාර්ක් තණතිල්ලේ ඔහු පන්දු 32කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 65ක් රැස්කරද්දී, නායක සහන් ආරච්චිගේ ස්ථානෝචිත ලෙසින් පිත්ත හසුරුවමින් ලකුණු 33ක් ලැබීය.
මුල් කඩුලු 4 නොසිතූ ඉක්මනින් බිඳවැටෙද්දී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර අතර 5වැනි කඩුල්ලේ ලකුණු 33ක සබඳතාව ඉනිම ස්ථාවර වීමට පදනම දැමීය. අනතුරුව පිටියට පිවිසි තරිඳු සහ සහන් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46කදී වාර්තා වූ ලකුණු 93ක සබඳතාව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් බලාපොරොත්තු නැංවූ සබඳතාව බවට පත්විය.
මෙහිදී බංගලිදේශ කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාද ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු එකතුවක් සැදීමට අනියමින් උපකාර වුණි.
අද පස්වරුවේ ජපානයේ වේලාවෙන් 1.30ට රන් පදක්කම සඳහා වන ඉන්දු-පකිස්තාන තරගය නැරැඹීමට එම දෙරටේ ප්‍රේක්ෂකයන් කල් ඇතිවම කෝගි ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර එහිදී එම දෙරටේම ප්‍රේක්ෂකයන් පාහේ ශ්‍රී ලංකා පිළට ජය පැතීම කැපී පෙනුණි.

