brand logo
logo
මම අලිමංකඩ රණබිමේ බිරිඳ දරු ප්‍රසූතියට රෝහලේ

මම අලිමංකඩ රණබිමේ බිරිඳ දරු ප්‍රසූතියට රෝහලේ

29 July 2025 | විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න

විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ පුරාවෘත්තයකි. පසුකලක හමුදා ප්‍රකාශක ලෙස රටේ ප්‍රකට චරිතයක් බවට පත්වුවද, ඔහු ගැන මුළු රටම කතා කිරීමට පටන් ගත්තේ එක්දහස් නවසිය අනූඑකේදී එල්ටීටීඊය අලිමංකඩ කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදීය. එතෙක් එල්ටීටීඊය එල්ල කළ දැවැන්තම ප්‍රහාරයේදී ඔහු සිය කඳවුර රැකගැනීමට සමත් වූවේය. එදවස ඔහු 6 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාය. අලිමංකඩ මේ සටන ගැන අදටත් කතා කරන්නේ එම සටනේදී කෝප්‍රල් ගාමිණී කුලරත්න කඳවුරට කඩා වැදී එල්ටීටීඊයේ බුල්​ඩෝසරයේ ගමන ජීවිත පරිත්‍යාගයෙන් නතර කළ නිසාය. අලිමංකඩ ප්‍රහාරයට වසර 34 ක් පිරුණු ගිය සතියේ මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න අලිමංකඩට රණබිමට ගියේය. මේ ඒ ගමන ගැන ඔහු සතිඅග අරුණට ලියූ ලිපියකි.



ඒ නවය පාර දිගේ අලිමංකඩ පහුකර යාපනයට යන වාරයක් වාරයක් පාසා මගේ මතකය දිව යන්නේ අතීතයටය. දශක තුනක අතීතයටය. හරියටම කියනවා නම් වසර තිස් හතරකට පෙර අතීතයටය. ඒ අතීතය ලියැවී ඇත්තේ ලෙයින් කඳුළිනි. කොහොමත් යාපනය නුවර ඒ නවය පාර වූ කලී රුහිරු වැගිරූ බිමකි. රට වෙනුවෙන් විරුවන් සිය ගණනක් දිවි පූජා කළ තැනකි.


අලිමංකඩ වූ කලී මට නිවස තරම් හුරුපුරුදු තැනකි. යටත්විජිත සමයේ සිට පැවැතගෙන ආ අලිමංකඩ කඳවුර එක රැයකින් ලෝක ප්‍රසිද්ධ සටන් බිමක් බවට පත්වූයේ මීට තිස්හතර වසරකට ඉහතදීය. අද මුළු රටම කතා කරන හසලක ගාමිණී කුලරත්න රට වෙනුවෙන් දිවි පුදා ඔහුගේ නම යළි ඉපදුණේ ඒ බිමේය. ඒ නවය පාරේ අලිමංකඩ පහුකර යාපනයට යන සෑම මොහොතකදීම මට ඒ බිහිසුණු සටන සිහියට නැගේ.


ඒ දවස මා නිලයෙන් මේජර්වරයකි. රාජකාරි කළේ හයවැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙසය. මා අලිමංකඩ කඳවුරේ ස්ථානගතව තිබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බළඇණියට අණදීම භාරගත්තේ 1991 පෙබරවාරි මසදීය. බළඇණිය 1986 ආරම්භයේ සිට දෙවැනි අණ දෙන නිලධාරියා වූයේද මාය. ඒ නිසා මම බළඇණියේ අඟලක් ගානේ මම දැනගෙන සිටියෙමි. සියලු නිලධාරීන් සහ සෙබළුන් ගැන පැහැදිලි අවබෝධයක් මට තිබිණි. අලිමංකඩ වූ කලී එකල හුදකලා කඳවුරකි. හතර වටින් එල්ටීටීඊයේ තර්ජන එල්ල වූ අලිමංකඩ කඳවුරේ අප ගත කළ කාලය ඉතා දුෂ්කර කාලයක් විය. එම කඳවුරේ සියලු සැපයුම්, නිවාඩු යාම්/ඊම් වූයේ ගුවන් මගිනි. පලාලි සිට කඳවුරට සැපයුම් කළේ හෙලිිිකොප්ටර්වලිනි. ලිපි ලැබෙනුයේ හෙලියානයක් පැමිණියහොත් පමණි. අද මෙන් ජංගම දුරකථන නොතිබූ ඒ කාලයේ කඳවුරේ සියල්ලම මග බලා සිටියේ හෙලිකොප්ටරයෙන් එන ලියුම් මිටිය දෙසය. කඳවුරට එක් දුරකථනයක් විය. එය සියලු දෙනාටම ආශිර්වාදයක් විය. සෑම අයකුම තම නිවසේ අයට කතා කිරීමට නොහැකි වුවත් නිවස අසල අයකුට, නෑයෙකුට, යාළුවෙකුට කතා කිරීමෙන් යම් සැනසීමක් ලැබීය.



මුලදී ත්‍රස්තවාදීන්ගේ යුද උපක්‍රම සහ අප විසින් අනුගමනය කළයුතු උපක්‍රම පිළිබඳව පැහැදිලි අවබෝධයක් මා හට නොතිබිණි. නමුත් ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ල වනවිට සියලු දෙනාගේ සහයෝගයෙන් මම එම අවබෝධය ගතිමි. සති දෙකක් තුළ මම කඳවුරේ ප්‍රතිසංවිධානය කිරීම් ආරම්භ කළෙමි. පුහුණුවීම්, ශාරීරික අභ්‍යාස ක්‍රීඩා ඒ අතර ප්‍රමුඛ විය. කාලගුණික තත්ත්වයන් නිසා උදේ 6 සිට 10 දක්වාත්, නැවත 3.30 සිට සවස 6 දක්වාත් පමණක් ක්‍රියාකාරකම්වල යෙදිණි. දහවලේ අලිමංකඩ වූ කලී කතරක් සේය. උණුහුම දරා ගැනීමට අපහසුය.


ත්‍රස්තවාදීන් විසින් මෙම කඳවුර අල්ලා ගැනීමට ක්‍රියාන්විතයක් කරනු ඇති බව අපි දැන සිටියෙමුු. නමුත් කවදා කෙසේ කුමන වේලාවකදී මීට ප්‍රහාරයක් එල්ල කරනු ඇතිද යන්න අපට අවබෝධයක් නොවීය. නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ මානසික මට්ටම උසස් ලෙස තබාගැනීමට අණදෙන නිලධාරී ලෙස හැකි සෑම අවස්ථාවකදීම ඔවුන් ඇමතීමි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් කුඩා කණ්ඩායම්වලට මාගේ දේශනා පැවැත්වීමි. දිනෙන් දින ත්‍රස්ත තර්ජන උත්සන්න වන බවට සියලු ලකුණු පහළ වෙමින් තිබිණි. අපගේ බලාපොරොත්තුව ධෛර්යය වූයේ අපගේ සේනාංකාධිපති වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. ඔහුු හැකි සෑම අවස්ථාවකදීම කඳවුරට පැමිණියේය. මා ඔහුගේ මාණ්ඩලික නිලධාරියකු ලෙස 6 සිංහ අණ දීම භාරගැනීමට පෙර රාජකාරි කළ හෙයින් එතුමාත්, මාත් අතර පැවැති විශ්වාසය ඉතා ඉහළ විය.


එල්ටීටීඊ ප්‍රහාරයට පෙර මා ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් ආවේ ඉහළ නිලධාරියකුගෙනි. මාගේ අණදීමේ දුර්වලතාවන් ඉස්මතු කරමින් මා ඉතා දුර්වල අණදෙන නිලධාරියකු බව සඳහන් කරමින් තදබල විනය වාර්තාවක් හමුදාපති වෙතත්, සේනාංකාධිපති​ වෙතත් යොමුකර තිබුණේ ජූලි 26 වැනිදාය. එකල යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහය. එනමුත් සේනාංකාධිපති වූ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව මා කවුදැයි හොඳින් දැන සිටියේය. යුද හමුදාපතිට යොමු කරන ලද මෙම විනය වාර්තාව මා හට දැඩි පීඩනයක් ගෙනදුන් නමුත් එය මාගේ සියලු නිලධාරීන් වෙත පැහැදිලි කරදී ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට මට හැකිවිය. කෙසේ වුවත් මීළඟට පැමිණෙන හෙලිකොප්ටරයක නැගී යුද හමුදාපති වෙත වාර්තා කිරීමට මා කොළඹ යුද හමුදා මූලස්ථානය වෙත පැමිණිය යුතු බව මට දන්වා තිබිණි.


මෙම කාලයේදී මා​ගේ බිරිඳ ඉනෝකා දෙවන දරු ප්‍රසූතිය සඳහා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබිණි. ජූලි මස අගදී ප්‍රසූතිය නියම වූ නමුත් ඇයට රෝහල් ගතවීමට සිදුවූයේ යම් සංකූලතාවක් නිසාය. එක්වරක් කොළඹ ගොස් ඇය බලා ආපසු කඳවුර වෙත පැමිණියෙමි. මාගේ ප්‍රශ්න පිළිබඳ නිලධාරීන් හොඳින් දැනුවත්ව තිබූ නිසා ඔවුන්ගෙන් මට ලද සහයෝගය ඉතා උසස් විය.


අපි එක පවුලක් ලෙස කටයුතු කළෙමු. ජූලි 9, 10 හෙලිකොප්ටර් යානා පැමිණීමට නියමිත විය. මා හට 10 දින හෙලියානයෙන් පැමිණ යුද හමුදා මූලස්ථානයට යන ලෙසට නියෝග ලැබී තිබිණි. පෙරළුණු පිට හොඳ යැයි මම කල්පනා කළේ කොළඹ යාමට අවස්ථාවක් උදාවූ නිසාය. විනය කරුණකට වුවද කොළඹ ඒමට ලැබීම පිළිබඳව මා ප්‍රීති වුණෙමි. ඒ මාගේ බිරිඳ සහ දරුවා දැකීමට හැකි නිසාය.


මාගේ දෙවැනි අණදෙන නිලධාරියා වූ මේජර් ලලිත් බුද්ධදාස 9 දින පැමිණි හෙලිකොප්ටරයෙන් නිවාඩු අවසන් වී කඳවුරට පැමිණියේය. ඔහු තම බිරිඳ සහ කුඩා දරුවා සමග මාගේ බිරිඳ බැලීමට රෝහල වෙතද ගොස් තිබිණි. රාත්‍රි ආහාරයෙන් පසු අණදෙන මැදිරියට මම 2 අණදෙන නිලධාරී, විධායක අධිකාරී වූ කපිතාන් රමේෂ්, කාලතුවක්කු බතරොයියේ නිලධාරීන් දෙදෙනා රැස්වෙනුයේ කාඩ් ක්‍රීඩාව සඳහාය. එදිනද අප 8.30 පමණ වනවිට කාඩ් ක්‍රීඩාව ආරම්භ කළෙමු. අප උදෑසන 1-2 පමණ වනතෙක් නොනිදා සිටි​යේ ප්‍රහාරයක් එල්ල වීමට ත්‍රස්තවාදීන් උදෑසන 1 ට පමණ පෙර වේලාවක් තෝරාගනු ඇතැයි තිබූ විශ්වාසයයි. කෙසේ වෙතත් රාත්‍රි 1.30 ට පමණ පසු අපි නිදාගැනීමට ගියෙමු. ත්‍රස්තවාදීන්ගේ ප්‍රථම ප්‍රහාරය එල්ල වූයේ උදෑසන 4.45 ට පමණය. අප එය සාර්ථකව මැඬ පැවැත්වීමු.



නමුත් එහිදී මෝටාර් ප්‍රහාරයකට ලක්වී මේජර් ලලිත් බුද්ධදාස මියගියේය. 10 දින උදෑසන අපගේ ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය රැගෙන හෙලියානා පැමිණියද ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා නාශක අවිවලින් කරන ලද පහරදීම් නිසා ගුවන් යානාවන්ට ගොඩබෑමට නොහැකි විය. මහ සටන ආරම්භ වී ඇති බව මට වැටහිණි. මම දරු ප්‍රසූතියට රෝහල් ගතවූ බිරිය බැලීමට යාමට සිටි ගමන අතහැර දැමුවෙමි. සටන නොනවතින බව මට තේරුම් ගියේය. එල්ටීටීඊය එතෙක් පැවැති සටන්වල මහ සටන ලෙස අලිමංකඩ අල්ලා ගැනීමේ සටන නම්කර තිබිණි. එය බිහිසුණු සටනකි. ඉපදුණු දරුවාගේ මුහුණ බැලීමට මට වාසනාවක් ලැබෙතැයි මම බලා​පොරොත්තු දල්වාගෙන සිටියෙමි.


මාගේ ඇස්තමේන්තුව වූයේ සති දෙකක් පිටත ආධාර නොමැතිව අපට සටන් කිරීමට සිදුවනු ඇති බවයි. සෑමවිටම මම එය නිලධාරීන්ටත්, සෙබළුන්ටත් පැවැසීමි. පලාලි මූලස්ථානයේ අදහස වූයේ දින 4 ක් තුළ ආධාර දීමට හැකිවනු බවය. මම එය කිසිසේත් විශ්වාස නොකළෙමි. මාගේ ප්‍රධාන කාර්යය වූයේ සෙබළුන්ට සටන් කිරීමට අවශ්‍ය මානසික තත්ත්වය දීමය. ඔවුහු මා ඉතා විශ්වාස කළෝය. එම විශ්වාසය මම කඩ නොකළෙමි.


ත්‍රස්තවාදීන් අතර සටන එන්න එන්නම දරුණු වූවේය. සමහරු රට වෙනුවෙන් දිවි පිදූහ. තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීය. ඔවුන්ගේ ජීවිත රැකගැනීමට වෛද්‍යය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙන් සේවය කළේය. සටන අවසන් වනවිට සෙබළුන් විසිඅට දෙනකු අපට අහිමි විය. ඔවුන්ගේ සිරුරු නිවාස වෙත ගෙනයාමට අපට සැපයුම් මාර්ග තිබුණේ නැත. එබැවින් අලිමංකඩ බිමේම සිරුරු ආදාහනය කර භෂ්මාවශේෂ නිවෙස්වලට භාරදීමට මම පියවර ගතිමි.


මේ අතරේ ජෙනරාල් කොබ්බෑකඩුව මා ඇමතුවේය. කඳවුර බේරා ගැනීමට තමා ආධාරක භට පිරිස් රැගෙන එන බවත් එතෙක් කඳවුර කෙසේ හෝ අල්ලා ගත යුතු යැයි ඔහු උපදෙස් දුන්නේය. ජෙනරාල් කොබ්බෑකඩුවගේ සැලසුම වී තිබුණේ අලිමංකඩ කඳවුරට කිට්ටු වෙත්තලයිකර්නි වෙරළට නැව් මගින්​ සෙබළු ගොඩබස්සා එහි සිට අලිමංකඩ කඳවුරට ඒමට මාර්ගයක් සකසා ගැනීමය. එම මෙහෙයුම බලවේගය යනුවෙන් නම්කර තිබුණේය.


සඳ නැගීම, බැසීම, ඉර පෑයීම පිළිබඳ සියල්ලන්ට තිබුණේ ඉතා හොඳ අවබෝධයකි. අපි රාත්‍රියේ නිදිවර්ජිතව සිටියෙමු. සුළු තුවාල තිබූ සෙබළුන් බංකර් වෙත පැමිණ දිවා කාලයේ රාජකාරි කරන ලද්දේ ශාරීරිකව හොඳ සෙබළුන්ට විවේකයක් දීමටය.


එල්ටීටීඊය ඔවුන්ගේ ප්‍රධානතම පහරදීම එල්ල කරන ලද්දේ අලිමංකඩ කඳවුරට දකුණින් පිහිටි කිලිනොච්චිය දෙසිනි. ඒ සඳහා බුල්ඩෝසරයක් යොදාගෙන තිබිණි. එය පදවාගෙන ආවේ මරාගෙන මැරෙන කොටියකි. ඔවුන්ගේ උපක්‍රමය වන්නට ඇත්තේ බුල්ඩෝසරයෙන් පැමිණ මාගේ අණදෙන මූලස්ථානය විනාශ කොට කඳවුර යටත් කර ගැනීමය.


නමුත් කෝප්‍රල් ගාමිණී කුලරත්න ඉතා නිර්භීත ලෙස ඔවුන්ගේ එම සැලසුම ව්‍යර්ථ කළේ ය. අවසානයේදී ත්‍රස්තවාදීන් පරාජය කළ අපි ජයග්‍රහණය කළෙමු. එය සුවපහසු ජයක් නොවේ.


අලිමංකඩදී අප ලැබූ ජයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ හා සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දැඩි සතුටට පත්ව සිටියහ. මම දක්ෂයෙක්දැයි, අදක්ෂයෙක්දැයි ක්‍රියාවෙන්ම ඔප්පු කළෙමි.


“අපට සුබ පතන්නට යුද හමුදාපතිවරයා පෞද්ගලිකව අලිමංකඩ කඳවුරට ආවේය. ඔහු මට අතට අත දී සුබ පැතුවේ ඔබට තෑග්ගක්ද තිබෙන බව කියමිනි. ඒ තෑග්ග වූයේ ඉනෝකා දෙවැනි පුතු බිහි කිරීමය. ඇය පුතා බිහි කළේ ජූනි තිස්වැනිදාය. අලිමංකඩ කඳවුරට එදා එල්ල වූ ප්‍රහාරය ගැන රටම කතා කරන්නට පටන් ගත්තේය. හසලක ගාමිණී කුලරත්න වෙනුවෙන් මම මාගේ යුතුකම ඉටු කළෙමි. ඔහු වෙනුවෙන් සෙබළකුට දිනාගත හැකි උසස්ම පදක්කම වන පරම වීර විභූෂණ පදක්කම (P.W.V.) දීමට නිර්දේශ කළෙමි.”


අලිමංකඩ ජයගත් පසු ජෙනරාල් කොබ්බෑකඩුව මට කීවේ ඔබේ බළඇණිය ප්‍රතිසංවිධානය කරගැනීමට වවුනියාවට රැගෙන යන ලෙසය. ඒ අනුුව අපි සෙබළුන් සමග වවුනියාවේ කඳවුරු බැඳගත්තෙමු.


2000 දී අලිමංකඩ කඳවුර අපට අහිමි වූවේය. සෙබළු අලිමංකඩෙන් පසුබැස මුහමාලේ ස්ථානගත විය. 2000 සිට සිවුවැනි ඊළාම් යුද්ධය ජයගන්නා තුරු යාපනේ ඉදිරි ආරක්ෂක වළල්ල වූයේ කිලාලි, මූහමලේ, නාගර්කෝවිල් දක්වාය. එය ජාතික පෙරමුණ ලෙස හැඳින්විය. එම බංකර් පෙළ අහිමි වුවහොත් යාපනයේ සිටින සෙබළුන් අනතුරේය. 2006 දී මම ජාතික පෙරමුණේ වගකීම භාරගතිමි. ඒ මුහමලේ 55 වැනි සේනාංකාධිපති ලෙසය.


දෙදහස් හයේ අගෝස්තු එකොළොස්වැනිදා ත්‍රස්තවාදීහු ජාතික පෙරමුණට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. ඔවුන්ගේ අරමුණ වූයේ ජාතික පෙරමුණ බිඳ යාපනයට ඇතුළු වීමටය. එදා අලිමංකඩ රැකගත් සේ ජාතික පෙරමුණද රැකගැනීමට අපි සමත් වූවෙමු. පසුව යුද හමුදාව ජාතික පෙරමු​ණේ සිට ඉදිරියට මෙහෙයුම් ඇරඹීය. එම මෙහෙයුමේදී යුද හමුදාව යළිත් වරක් අලිමංකඩ අල්ලා ගත්තේය. මහනුවර - යාපනය ඒ නවය පාර එල්ටීටීඊ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මුදාගත්තේය. ඉක්බිතිව යාපනය ජනතාවට ඒ නවය පාර විවෘත විය. 91 අලිමංකඩ සටන සිහි කරමින් ඒ බිමේ ස්මාරකයක් ගොඩ නැගුණේය. එදා ගාමිණී කුලරත්න නතර කළ බුල්ඩෝසරය ඒ බිමේ ප්‍රදර්ශනය කෙරුණි. යාපනයේ චාරිකා යන හැමදෙනාම පාහේ මේ බුල්ඩෝසරය බැලීමට අමතක කරන්නේ නැත. දැන් අලිමංකඩ බොහෝ වෙනස්ය. එදා ඒ බිමේ තිබූ කිසිවක් අද නැත.


වසර 34 කට පසු ඉකුත් ජූලි මස 11 දිනද මා අලිමංකඩ ගොස් මියගිය සෙබළුන් හට ස්මාරකය අබියසදී මාගේ ගෞරවය පිරිනැමුවෙමි. මා​​ගේ බිරිඳ ඊට එක්ව සිටියාය. තිස් වසරකට පෙර මා මේ බිමේ සටන් කරද්දී ඇය දරු ප්‍රසූතිය කළේ මා​ගේ ජීවිතය ගැන බිය වෙමිනි. එකල අපි බංකර් ඉදිකළේ රේල් පීලි ගලවාය. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා දුම්රිය ධාවනය නතර වූ නිසාය. දැන් දුම්රිය මාර්ගය පිළිසකර වී ඇත. මාර්ග හොඳින් තනා ඇත. බුල්ඩෝසරය පැමිණි ප්‍රදේශය, අපගේ අණදෙන මූලස්ථානය තිබූ ස්ථානය දැකගැනීමට ලැබීම මා ලද භාග්‍යයකි. එම සටනට සහභාගි වූ නිලධාරීන් සහ සෙබළුන් ජීවත්ව සිටියේ නම් එය ඉතා විචිත්‍රවත් වීමට ඉඩ තිබිණි.

 

More News..