brand logo
logo
පන්තියක සිසුන් 35ට බස්සයි

පන්තියක සිසුන් 35ට බස්සයි

17 October 2026 | නිලන්ත මදුරාවල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහක උපරිමයකට සීමා කිරීමට නියමිතය. පන්තියක සිසුන් සංඛ්‍යාව තිහකට හෝ තිස් පහකට සීමා කිරීමේ අවශ්‍යතාව මේ වන විට ගුරු පුහුණු කටයුතුවල යෙදී සිටින ගුරුවරුද අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දී තිබේ.


ලබන වසරේදී දෙක හා හය ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරේ. ඒ වෙනුවෙන් ගුරුවරුන් දසදහසක් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මේ වන විට ආරම්භ කර තිබෙන අතර එලෙස පුහුණුව ලබන ගුරුවරු ඒ ඒ පළාත්වල ගුරුවරුන් පුහුණු කළ යුතුය. මෙම ශ්‍රේණි දෙකේ සියලු ගුරුවරු නොවැම්බර් මස තිස් වැනිදා වන විට පුහුණු කර අවසන් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් කර ඇත.


මෙම ක්‍රියාවලියේදී ගුරුවරයාට හැම සිසුවකුම නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන හෙයින් සිසුන් සංඛ්‍යාව සීමා කිරීම අත්‍යවශ්‍ය යැයි ගුරුවරු පවසති. විනාඩි හතළිහකින් යුත් කාලච්ඡේදය ඇතුළත සියලු සිසුන් නිරීක්ෂණය කර එම අවස්ථාවේදීම ලකුණු ලබාදීමද ගුරුවරුන්ට පැවරෙන වගකීමකි.


ඇතැම් ප්‍රධාන පෙළේ පාසල්වල පන්තියක සිසුන් සංඛ්‍යාව හතළිහ ඉක්මවා සිටින හෙයින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන්ට අපහසුතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද ගුරු පුහුණුවල යෙදී සිටින ගුරුවරු පෙන්වා දී ඇත.


ඉදිරි වසර තුන ඇතුළත සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.


පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2011 වසරේදී නියෝගයක්ද ලබා දී තිබිණි.

 

More News..