ජනතාව නොමග යවන දොස්තරලාට වෛද්‍ය සභාවෙන් රතු එළි
07 October 2026 | ශිරාන් රණසිංහ
ජනතාව නොමග යවන දොස්තරලාට වෛද්‍ය සභාවෙන් රතු එළි
07 October 2026 | ශිරාන් රණසිංහ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටින ඇතැම් වෛද්‍යවරු වෙබ් අඩවි, ෆේස්බුක්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරමින් සදාචාර විරෝධී සහ විෂමාචාර කටයුතුවල නියැළෙමින් ජනතාව නොමග යවන ආකාරයෙන් ප්‍රචාරයන් හා ප්‍රවර්ධන කටයුතු කරගෙන යන බවත් එවැනි අයට එරෙහිව වෛද්‍ය සභාව සතු බලතල යටතේ නෛතික පියවර ගන්නා බවත් එම සභාව වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ.
මේ අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන ඇත. ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ ප්‍රවර්ධනය කිරීම සහ රෝග සුවවීම පිළිබඳ යථාර්ථවාදී නොවන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මීට පෙරද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරීක්ෂණයට ලක් වී ඇති බැවින් ඒ හේතුවෙන් ඇතැම් වෛද්‍යවරු සමාජ මාධ්‍ය හරහා කරගෙන යන සදාචාර විරෝධී ප්‍රචාරණ සහ ප්‍රවර්ධනයන් නතර කළ යුතු බවද දැනුම් දී ඇත.
මේ ආකාරයට ඇතැම් වෛද්‍යවරුන්ගේ සදාචාරාත්මක නොවන ප්‍රවර්ධන මගින් සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳී යා හැකි බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙයි.
ලියාපදිංචි වෛද්‍යවරු වෘත්තීය සන්නිවේදනය මගින් මහජනතාව දැනුවත් කළ යුතු බවත් නොමග යවන, සූරාකෑම හෝ යථාර්ථවාදී නොවන ප්‍රචාරණයන් සිදුනොකළ යුතු බවත් එම සභාව වෛද්‍යවරුන්ට අවවාද කර සිටී.
සමාජ මාධ්‍ය හරහා මෙවැනි සදාචාර විරෝධී සහ විෂමාචාර සිදුකරන වෛද්‍යවරුන් සම්බන්ධව දිගින් දිගටම නිරීක්ෂණය කරන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු බලතලවලට අනුව එවැනි අයට එරෙහිව නෛතික පියවර ගන්නා බවත් වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ට නිකුත් කර ඇති මාර්ග උපදේශ Ethics/ Professinal Conduct නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

