Best News Website award
brand logo
logo
කඩුගන්නාවේ මරු කපොල්ල

කඩුගන්නාවේ මරු කපොල්ල

14 November 2026

නානා වැඩවලට කොළඹට පැමිණි නුවර වැසියෝ ඉකුත් අඟහරුවාදා (10) රැයේ පිටකොටුව බස් නැවතුමට ගියේ නිවෙස් බලා යාමට බසයක් අල්ලා ගැනීමටය. ‘‘වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල, නුවර..... නුවර...’’ යනුවෙන් කියමින් හැමදාමත් කෑමොර දෙන කොන්දොස්තරවරයා එදා කීවේ වෙන කතාවකි.


‘බස් එක යන්නේ මාවනැල්ලට විතරයි’ ඔහුගේ කතාවෙන් නුවර යාමට ආ මගීහු අන්දමන්ද වූහ. සමහරුන්ට අලුයමේම නුවර ගොස් කරගැනීමට වැඩරාජකාරි බොහොමයක් තිබිණි. එනමුත් බස් නුවර යන්නේ නැත. ඒ ගැන විමසූ කල කීවේ ගල් පෙරළෙන නිසා කඩුගන්නාවෙන් පාර වසා දමා ඇති බවය. කාරණාව හරි සරලය. කඩුගන්නා කන්දෙන් ගල් පෙරළෙන විට දැන් කරන්නේ පාර වසා දැමීමය. එය සිරිතක් බවට පත් වූයේ දිට්වා සුළි කුණාටුව ආ පසුවය.


එතෙක් කඩුගන්නාව කී විට මැවෙන්නේ ලස්සන චිත්‍රයකි. එක් පසෙකින් උස් කඳු පන්තියකි. ඈතින් පෙනෙන්නේ සීගිරියේ හැඩැති බතලේගල කන්දය. අනෙක් පසින් ගැඹුරු ප්‍රපාතයකි. කඳු අතරින් වැටෙන මීදුමත්, වැසි දියෙන් තෙත් වන පරිසරයත් මේ ප්‍රදේශයට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයකි. එහෙත් අද මේ සුන්දරත්වය යට සැඟවී ඇත්තේ මිනිස් ජීවිත, ප්‍රවාහන පද්ධතිය සහ ප්‍රදේශයේ අනාගතය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකි.


පහළ කඩුගන්නාව දැන් හුදෙක් නායයෑමක් සිදුවූ ස්ථානයක් නොවේ. එය අනාගතයේදී විය හැකි විශාල භූ විපතක් පිළිබඳව අවධානය යොමු කළ යුතු කලාපයකි. පසුගිය නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ ඇදහැලු‍ණු අධික වර්ෂාවත් සමග කඩුගන්නාව ප්‍රදේශයේ නැවතත් ගල් පෙරළීම් හා පස් කඳු කඩා වැටීම් සිදුවිය. මේ හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඩෝසන් කුලුන ආසන්නයේ සිට ගනේතැන්න දක්වා කොටස තාවකාලිකව වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.


පසුදා එනම් නොවැම්බර් 11 වැනිදා උදෑසන 6.00ට මාර්ගය නැවත විවෘත කළද, එය සම්පූර්ණයෙන්ම අවදානම පහව ගිය බවට සහතිකයක් නොවීය. මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරමින් වාහන ධාවනයට අවසර දීමටත්, අධික වර්ෂාවක් ඇති වුවහොත් නැවත මාර්ගය වසා දැමීමටත් බලධාරීන් අවධානය යොමු කර තිබිණි. නොවැම්බර් 12 වැනිදා වන විටත් නායගිය ස්ථානයේ ඉතිරිව තිබූ ගල් හා පස් හේතුවෙන් තවදුරටත් අවදානමක් පැවැති බැවින් මාර්ගයට පස් හා ගල් වැටීම වැළැක්වීම සඳහා තාවකාලික ආරක්ෂිත ගල් වැටියක් ඉදිකිරීමට පියවරගෙන තිබිණි. මෙය එක් වැසි රාත්‍රියක ඇති වූ සිදුවීමක් ලෙස පමණක් සැලකිය හැකිද? නැත. මන්ද මෙම ප්‍රදේශය මීට පෙරද මාරාන්තික නායයෑම්වලින් බැට කා ඇති බැවිනි.

2025 නොවැම්බර් 22 වැනිදා පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑම කඩුගන්නාව අවදානම පිළිබඳව මුළු රටේම අවධානය යොමු කළ ඛේදවාචකයකි. එම නායයෑමෙන් පුද්ගලයන් හයදෙනකුට ජීවිත අහිමි විය. නිවාස, දේපළ හා මාර්ග පද්ධතියට සිදුවූ හානිවලට අමතරව, මෙම සිදුවීමෙන් පසු කඩුගන්නාව කඳු බෑවුම්වල ස්ථාවරත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවිය.

නායයෑම සිදුවූ ස්ථානයට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා එහිදී කළ අනතුරු ඇඟවීම විශේෂ අවධානයට ලක්විය.

ඔහු පෙන්වා දුන්නේ නායගිය ස්ථානය පමණක් ස්ථාවර කිරීම ප්‍රමාණවත් නොවන බවයි. දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව විහිදී ඇති පුළුල් භූමි ප්‍රදේශයම විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතු බවය. එමෙන්ම කඳු බෑවුම් ආශ්‍රිත අනවසර ඉදිකිරීම්, ස්වාභාවික ජල මාර්ග වෙනස් කිරීම සහ අධික පීඩනයකින් ජලය ගැනීම වැනි මිනිස් ක්‍රියාකාරකම් භූමියේ අස්ථාවරත්වය තවත් වැඩි කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මහාචාර්ය අතුල සේනාරත්න තවත් අනතුරු ඇඟවීමක් කළේය. පහළ කඩුගන්නාවේ සිට ගල විදපු ස්ථානය දක්වා දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය අතර පිහිටි අක්කර 500ක පමණ භූමි ප්‍රමාණයක් අස්ථාවර තත්ත්වයක පවතින බවයි.

ඔහු පෙන්වා දෙන පරිදි මෙම භූමි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අස්ථාවර විශාල ගල් පවතින අතර, අධික වර්ෂාවත් සමග පස් සමග එම ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති බවය. තවත් වැදගත් කරුණක් වන්නේ, මාර්ගයට ගල් හා පස් වැටුණු ස්ථානය පමණක් පරීක්ෂා කිරීමෙන් සමස්ත අවදානම හඳුනාගත නොහැකි වීමයි. ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගෙන බෑවුම්වල පවතින අවදානම් සහිත ගල් හඳුනාගත යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දී තිබේ. එනම්, මතුපිටින් නොපෙනෙන අවදානමක් කඳුකරයේ අභ්‍යන්තරයේ තිබිය හැකි බවයි.

තවත් වසර පහකින්, දහයකින් පහළ කඩුගන්නාව කෙබඳු තත්ත්වයක පවතිනු ඇතිද?

මෙය අනාවැකියක් ලෙස නොව, දැනට අනාවරණය වී ඇති භූ විද්‍යාත්මක අවදානම් හා විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් පදනම් කරගත් විමසා බැලීමක් ලෙස තේරුම් ගත යුතුය.

පළමු අවදානම වන්නේ අධික වර්ෂාව සමග නැවත නැවතත් පස් කඳු කඩා වැටීම හා ගල් පෙරළීම සිදුවීමයි. එවැනි තත්ත්වයක් දිගින් දිගටම ඇති වුවහොත් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය හැකිය. දෙවනුව, දුම්රිය මාර්ගයට ආසන්න බෑවුම්වල අස්ථාවරත්වය පිළිබඳවද විශේෂ අවධානයක් අවශ්‍ය වේ. දුම්රිය මාර්ගය බොහෝ දුරට පිහිටි ගල මත ඉදිකර තිබුණද, අවට බෑවුම්වල සිදුවන නායයෑම් එහි ආරක්ෂාවට බලපෑම් කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

තෙවනුව, කඳු බෑවුම්වල පවතින ස්වාභාවික ජල මාර්ග වෙනස්වීම, අනවසර ඉදිකිරීම් සහ පරිසරයට කරන මිනිස් මැදිහත්වීම් නිසා අවදානම තවත් සංකීර්ණ විය හැකිය. එසේ වුවහොත් කඩුගන්නාව යනු වරින්වර මාර්ග වසා දමන ප්‍රදේශයක් බවට පමණක් නොව, එහි ජීවත්වන ජනතාවටද නිරන්තර අවදානමක් සහිත ප්‍රදේශයක් බවට පත්වීමේ ඉඩකඩක් තිබේ.

එහෙත් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක්, කාලෝචිත අනතුරු ඇඟවීම් සහ ස්ථිර ආරක්ෂක වැඩපිළිවෙළක් මගින් එවැනි තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව තිබේ. ඩොලර් මිලියන 101.3ක ව්‍යාපෘතියෙන් ලැබෙන විසඳුම කුමක්ද?

මෙම අවදානම හඳුනාගැනීමත් සමග බලධාරීන් දැනටමත් ව්‍යාපෘතිමය මැදිහත්වීම් සඳහා සැලසුම් සකස් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ නායයෑම් ආපදා කලාප සිතියම් සහ පෙර සිදුවීම් සැලකිල්ලට ගනිමින්, කොළඹ - මහනුවර මාර්ගයේ කිලෝමීටර් 96 සිට 99 දක්වා පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයෑම් අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. එම අවදානම අවම කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101.3ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 80ක් සහ ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියන 21.3ක් වෙන්කර තිබේ. වාර්තා අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ 2027 දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතය. එහෙත් ප්‍රශ්නය වන්නේ වෙන්කර ඇති මුදල පමණක් නොව, එම මුදලින් කරන ඉදිකිරීම් මගින් සැබෑ භූ විද්‍යාත්මක අවදානම කොතරම් දුරට පාලනය කළ හැකිද යන්නයි.

කෙසේ වෙතත් කඩුගන්නාව යනු කොළඹ සහ මහනුවර යා කරන මාර්ගයක එක් කොටසක් පමණක් නොවේ. එය රටේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය, දුම්රිය ප්‍රවාහනය සහ දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජීවිත සමග බැඳී පවතින වැදගත් භූමි කලාපයකි.

අද එම කඳු බෑවුම්වලින් ගල් පෙරළෙන්නේ නම්, හෙට තවත් විශාල භූමි ප්‍රදේශයක් අස්ථාවර විය හැකිද යන්න අප විමසා බැලිය යුතුය. අක්කර 500ක් පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්නගේ අනතුරු ඇඟවීමත්, මෑතකාලීන නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවීම් මාලාවත් අපට කියා දෙන්නේ එකම පාඩමකි. නාය ගිය පසු පස් ඉවත් කිරීම විසඳුම නොවේ.

 

More News..