මේ අයවැය ඉලක්කම් මත කළ විජ්ජාවක්
18 November 2026 | සංවාදය - සෙව්මිණී වාසල
මේ අයවැය ඉලක්කම් මත කළ විජ්ජාවක්
18 November 2026 | සංවාදය - සෙව්මිණී වාසල
පසුගිය දිනයක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වර්ෂය සඳහා වන අයවැය, ජනතාවගේ ජීවන බරට නිසි විසඳුම් ලබා නොදෙන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි හුදු බොරු පොරොන්දු ලේඛනයක් පමණක් බව විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් කියති. මෙම අයවැය තුළින් ඉහළ පැලැන්තියට විශාල සහන සලසා ඇති නමුත් සාමාන්‍ය ජනතාවට සෑහීමකට පත් විය හැකි ප්රතිලාභ නොලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති. වත්මන් රජය නිවැරදි ආර්ථික දත්ත සඟවමින් ආදායම් විෂමතාව තවත් පුළුල් කර ඇති බවටද චෝදනාවකි. මෙම කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.
විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසට ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ගැන එතරම් පැහැදීමක් තිබෙන බවක් අපිට පේන්නේ නෑ....
ඇත්තටම ඔව්. ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය සම්පූර්ණයෙන්ම ඉලක්කම් මත කළ විජ්ජාවක් පමණයි. අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න කිසිවකටත් පිළිතුරු ලැබිලා නැහැ. විශේෂයෙන්ම ලබන වසරේ සිට අපේ රටට මුහුණ දීමට සිදුවන විනිමය අර්බුදයට පිළියම් යෙදීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ අයවැය තුළ නැති වීම ලොකු ගැටලුවක්. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නේ කොහොමද, මුදල් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ගැන කතා කිරීමටවත් 2027 වර්ෂය සඳහා වන අයවැය අවස්ථාවක් කරගෙන නැහැ කියලයි මට නම් පේන්නේ. අනෙක, රටේ සාමාන්‍ය ජනතාවට සෙත සැලසෙන යෝජනා මේ අයවැය තුළ නැති බව ඉදිරිපත් වී ඇති යෝජනා දිහා බලද්දී අපිට අවබෝධ වෙනවා. ඇත්තටම කිව්වොත් 2027 වර්ෂය සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා තුළ බරපතළ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
මොනවාද ඔය කියන බරපතළ ප්‍රශ්න?
දිගින් දිගටම රටේ ජනතාව මුහුණ දෙන දැඩි උද්ධමනයට විසඳුමක් යෝජනා කර නොතිබීම මේ අයවැයේ තිබෙන බරපතළම ප්‍රශ්නයක්. උද්ධමනය පාලනය කරන්න ක්‍රමවේදයක්වත් ඉදිරිපත් වෙලා නැහැ. මිරිස් කුඩු, උම්බලකඩ, හාල්මැස්සන් ආදී භාණ්ඩ මත පැනවූ බදු අඩු කළාට එමඟින් ජනජීවිතයට විශාල සෙතක් අත්වෙනවා කියලා කියන්න බැහැනේ. ජනජීවිතය ගැනවත්, ජීවන වියදම පාලනය කිරීම ගැනවත් පැහැදිලි ස්ථාවරයක් මේ අයවැය තුළ සඳහන් වෙලා නැහැ. දැනටමත් අපේ රටේ විරැකියාව සියයට 20ක පමණ අගයක් දක්වා ඉහළ ගිහින් තියෙන්නේ. අවුරුදු 15-27 අතර වයස් කාණ්ඩයේ විරැකියාව ඉහළ ගොස් තිබෙන මොහොතක, ඒ ගැටලුවලට විසඳුම් දීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් පිළිබඳ දැක්මක්වත් තිබෙන බවක් අපිට පේන්නේ නැහැ. ඩිජිටල් ආර්ථිකයක් හදනවා, අලුත් තාක්ෂණය ගේනවා කියලා වචනවලින් කිව්වට වැඩක් නැහැ. ඔය කියන දේවල් ක්‍රියාවට නැංවීමයි කළ යුත්තේ. මේ ආණ්ඩුව ඒ දේවල් පසුගිය අවුරුදුවලත් මේ විදිහටම කිව්වා. ඒත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් නැහැ.
2027 වර්ෂය සඳහා වන අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සෙතක් වෙන්නේ නැහැ කියලද ඔබ කියන්නේ?
ඔව්. රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න විසඳීම කෙරෙහි අවධානය යොමු කර නැති බව පැහැදිලිව සඳහන් කළ යුතුයි. මීට පෙර 2025 සහ 2026 වසරවලට අදාළව ජාතික ජන බලවේග ආණ්ඩුව අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් කළානේ. පසුගිය වසරේ සංවර්ධන යෝජනා සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලින් ක්‍රියාත්මක වී තිබෙන්නේ සියයට 16ක් පමණක් බව දැන් වාර්තා වෙනවා. යෝජනා කළ ව්‍යාපෘති සියයකින් ක්‍රියාත්මක වී තිබෙන්නේ 16ක් පමණක් නම්, එය ඉතා විශාල අසාර්ථකත්වයක් නොවෙයිද? ඒක ලොකු පසුබෑමක් කියලයි මට නම් හිතෙන්නේ. සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කරගෙන භාණ්ඩාගාරය පුරවලා, "දැන් භාණ්ඩාගාරයේ ඉතිරෙන්න සල්ලි තියෙනවා" කියලා කිව්වට ප්‍රයෝජනයක් නැහැ. අනෙක, මේ අයවැයෙන් වී ගොවියාටවත් ලොකු සහනයක් ලැබිලා නැහැ. වී කියන්නේ මේ රටේ ප්‍රධානම නිෂ්පාදනයක්. ඒත් මේ ආණ්ඩුව ගොවීන්ගේ හඬට ඇහුම්කන් දුන් බවක් පේන්නේ නැහැ. වී මිල ගැන හෝ නිෂ්පාදන වියදම අඩු කිරීමට ගන්නා පියවර ගැන හෝ කිසිම සඳහනක් මේ අයවැයේ නොවීම ගැටලුවක්. ඇත්තටම මේ අයවැය දේශපාලන න්‍යාය පත්‍රයක් ඉහළට ඔසවා තැබූ, සැබෑ ප්‍රශ්න යටපත් කළ අයවැයක් කියන එකයි මගේ අදහස.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළ සෑහීමකට පත්විය හැකි කිසිදු යෝජනාවක් නැහැ කියලාද ඔබ කියන්නේ?
රාජ්‍ය සේවකයන්ගේ යම් යම් දීමනා වැඩි කිරීම, ආබාධිත පුද්ගලයන්ගේ දීමනා වැඩි කිරීම, පොත්වල බදු ඉවත් කිරීම ආදිය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. එවැනි යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ යෝජනා හොඳයි. නමුත් ඒවා අයිති වෙන්නේ සුබසාධන වැඩවලටයි. රට ස්ථාවර කරනවා කියන්නේ සුබසාධන යෝජනා ඉදිරිපත් කිරීම පමණක්ම නොවෙයි. ඒවා ආරක්ෂා කරගන්නා අතරම, රටේ ස්ථාවරත්වය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සඳහා අඩිතාලම දැමීමත් කළ යුතුයි.
2027 වර්ෂය සඳහා වන අයවැයෙන් ආයෝජන ව්‍යාපෘති රැසක් කෙරෙහි අවධානය යොමු කර තිබීම සාධනීයයි කියලා පිරිසක් කියනවා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?
විශාල ආයෝජන සඳහා යෝජනා කළ ඇතැම් ව්‍යාපෘති මේ වසරේවත් ආරම්භ කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඒත් පසුගිය වසරේ අත්දැකීම්වලට අනුව නම් එහෙම වෙයි කියලා හිතන්න බැහැ. "අර ව්‍යාපෘතියට බිලියන 500යි, මේ ව්‍යාපෘතියට බිලියන 1000යි" කියලා යෝජනා ගොඩක් ඉදිරිපත් කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවාද කියන එකයි ප්රශ්නය. මේ ඉදිරිපත් කරන යෝජනා බොහොමයක් ඉලක්කම් පමණයි. මේ පිරිස ලබන අවුරුද්දේ මේ අවුරුද්දට වඩා වෙනස් කතාවක් ඉදිරිපත් කරයි. කතාව තිබුණට වැඩ නැති එකයි ප්රශ්නය. උදාහරණයක් හැටියට වැව් 450ක් හදනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. වැව් පමණක් නොවෙයි, දුරකථන කණු 1000ක් හදනවා, විශ්වවිද්‍යාල 50ක් හදනවා කියලත් කිව්වා. ඒ කිව්ව දේවල් හදන්න මුදල් කොහෙද තියෙන්නේ? අයවැයෙන් සත පහක්වත් ඒ සඳහා වෙන්කරලා නැහැනේ. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරොන්දු දෙමින් ඉන්නවා කියලා එයින්ම පැහැදිලි වෙනවානේ. ඒ නිසා මේ රටේ ජනතාව බලාපොරොත්තු වන අරමුණු බොහොමයක් මේ අයවැය හරහා ඉටු වෙලා නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ජනතාවගේ අපේක්ෂා සියයට සියයක්ම බිඳවැටිලා කියලා අපි කියන්නේ නැහැ. නමුත් බහුතරයක් අපේක්ෂා ඉටු වෙලා නැහැ.
විපක්ෂය පෙන්වන තරම් බරපතළ ගැටලුවක් අයවැය තුළ නැහැ කියලත් සමහරු කියනවානේ?
උපරිම සති දෙක තුනක් ගතවෙද්දී, අපි මේ කියන කතාවේ ඇත්ත නැත්ත ජනතාවටත් අවබෝධ වෙයි කියලා අපි හිතනවා. මොකද ආර්ථික අර්බුදයක් කියන්නේ හංගන්න පුළුවන් දෙයක් නොවෙයි. දැනටමත් රටේ ජනතාව විවිධාකාරයේ ආර්ථික ගැටලු නිසා පීඩා විඳිමින් ඉන්නේ. උදාහරණයක් හැටියට, ඉන්ධන මිල නිතර ඉහළ පහළ යාම දැන් ජනතාවට දරාගන්න බැරි මට්ටමකට ඇවිත් තියෙනවා. ඉන්ධන මිල ඉහළ යන්නේ මැදපෙරදිග යුද්ධය නිසා කියලා ආණ්ඩුව දැන් කියනවා. ඒත් ඔවුන් මීට පෙර කිව්වේ මොනවාද? "මැදපෙරදිග යුද්ධය අපිට අදාළ වෙන්නේ නැහැ, අපි තෙල් මිලදී ගන්නේ සිංගප්පූරුවෙන්" කියලයි ඔවුන් කිව්වේ. ඒත් එහෙම කියූ පිරිසම අද කියනවා, ඉන්ධන මිල ඉහළ පහළ යාමට මැදපෙරදිග අර්බුදය දරුණු ලෙසම බලපා තිබෙනවා කියලා. හැම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 145ක් සහ හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 128ක් ආණ්ඩුව බදු විදිහට ගන්නවා කියලා පෙට්‍රෝලියම් සංස්ථාවේ සභාපතිවරයාම පසුගිය දවසක කිව්වා. ඒ බද්ද යම් ප්‍රමාණයකින් අඩු කරලා තාවකාලිකව හෝ ඉන්ධන මිල අඩු කළා නම්, ඒක ජනතාවටත් යම් ආකාරයකින් සහනයක් වෙනවා. ඒත් ආණ්ඩුව නිසි කළමනාකරණයක් කරන්නේ නැහැ. ප්රශ්නය තියෙන්නේ එතැනයි. අයවැයට ප්‍රශංසා කරන, හුරේ දාන යම් පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් භයානක තත්ත්වය තියෙන්නේ අපි මුහුණ දෙන මූල්‍ය අර්බුදය තුළයි.
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය අරගෙන අවුරුදු දෙකක් ගතවුණත් ඔවුන් තවමත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලා නැහැ කියලා විපක්ෂය චෝදනා කරනවා. අපි ඒ ගැනත් කතාකරමු?
අපි එහෙම චෝදනා කරන්නේ හේතුවක් නැතිව නොවෙයි. එහෙම කියන්න හේතු ගණනාවක් තිබෙනවා. ආණ්ඩුව නියමිත ඉලක්ක කරා ගමන් නොකරන නිසයි විපක්ෂය ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවට චෝදනා කරන්නේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට පොරොන්දු විශාල ප්‍රමාණයක් දුන්නා. ඇතැම් පොරොන්දු මාස තුනෙන්, මාස හයෙන් හෝ වසරකින් ඉටු කරන බවත් කිව්වා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම එක කාරණයක්. රාජ්‍ය සේවකයන්ගෙන් යම් ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයට සහ වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නා. නමුත් අද වන විට ඔවුන්ගේ විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටෙමින් තිබෙනවා. ආණ්ඩුවේ කඩාවැටීමේ ලකුණු එයින්ම පැහැදිලිව පෙනෙනවා.
ජනතාවට වාචිකව මොනතරම් පොරොන්දු දුන්නත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ පිරිසට අවබෝධයක් නැහැ කියන කතාව ගැන ඔබේ අදහස මොකක්ද?
ආණ්ඩුව කරන්නේ පැවැති වැඩසටහන් තවදුරටත් දීර්ඝ කිරීම පමණයි. ජනතාවගේ ආදායම් වැඩි කරගැනීමට හෝ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් මේ අයවැයේත් නැහැ. අනෙක, දූෂණය, වංචාව සහ හොරකම නැති කරනවා කියලා මේ පිරිස මහා පරිමාණයෙන් කතා කළා. රටක දූෂණය නැති විය යුතුයි යන්න අපිත් අනුමත කරනවා. ඒත් මේ ආණ්ඩුව කියන ආකාරයට දූෂණය නැවැත්වීමෙන් විශාල මුදලක් ඉතුරු වෙලා තියෙනවා නම්, වසර දෙකක් ගතවන විට එහි ප්‍රතිලාභය ජනතාවට දැනෙන්න, පේන්න තිබිය යුතුයිනේ. ඒත් එවැන්නක් වී තිබෙන බවක් අපිට නම් පේන්නේ නැහැ.
අනෙක අපි දූෂණය අවම කළා කියලා ආණ්ඩුව කිව්වට, ඇත්තටම දූෂණය අවම වෙලාද කියන ගැටලුවත් අපිට තියෙනවා. බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම නිසා රුපියල් බිලියන 18.3ක පමණ දැවැන්ත අලාභයක් වී තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන කතා කළත්, මෙරට වූ විශාලතම මූල්‍ය අලාභය බවට මේ ගල්අඟුරු ගනුදෙනුව පත්ව තිබෙනවා. ඊට අමතරව, මහ බැංකුවේ ඩොලර් බිලියන 2.5ක ගනුදෙනු සම්බන්ධයෙන් අදටත් පැහැදිලි පිළිතුරක් නැහැ. පරීක්ෂාවකින් තොරව වරායෙන් කන්ටේනර් 323ක් පිටතට ගිය සිද්ධියේදී ආණ්ඩුව කොළේ වහමින් කටයුතු කළ ආකාරය රටම දැක්කා. ඒ නිසා රටට විශාල බදු ආදායමක් අහිමි වුණා වගේම, ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් එල්ල වුණා. මෙවැනි ප්‍රසිද්ධ කාරණා ගණනාවක් පෙළ ගැසී තිබියදී, ඒවාට වගඋත්තර දීමටවත් මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. තමන්ගේ අඩුපාඩු සහ වංචා වසා ගනිමින්, තවදුරටත් අනුන්ට ඇඟිල්ල දිගු කරමින් ඉදිරියට යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව උත්සාහ කරනවා. ඒත් ඔවුන්ට හැමදාමත් ඒ දේම කරන්න බැහැ.


