Best News Website award
brand logo
logo
ඊශ්‍රායල දේශපාලන අර්බුදය විසඳීමට එක්සත් ආණ්ඩුවක්

ඊශ්‍රායල දේශපාලන අර්බුදය විසඳීමට එක්සත් ආණ්ඩුවක්

29 November 2026


මැතිවරණයෙන් පසුව උද්ගතව ඇති දේශපාලන නොසන්සුන්තාවට සහ අර්බුදයට විසඳුමක් වශයෙන් එක්සත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බව බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.


වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය හිමි විය යුතුය යන මූලධර්මය පසෙක තබමින්, පළමුව අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත පිරිනැමීමට නෙතන්යාහු සිය එකඟතාව පළ කර ඇත.


රටේ අනාගත අභියෝග හමුවේ නායකයෙකු ලෙස මෙම තීරණයට එළඹි බවත්, මූලික අදියරේදී තමන් 'විකල්ප අග්‍රාමාත්‍ය' ලෙස කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.


නෙතන්යාහුගේ මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්, පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නෙතන්යාහුගේ 'Likud' පක්ෂයට ආරාධනා කර ඇත. සාකච්ඡා ප්‍රමාද කරන බවට නෙතන්යාහුගේ පක්ෂයට මීට පෙර චෝදනා කර තිබූ අයිසන්කොට්, ඉදිරි පැය 24 තුළ මෙම යෝජනාවේ සත්‍යතාව විමසා බැලීමට සූදානම් බව සඳහන් කර තිබේ.


ඒ අනුව, මැතිවරණ අර්බුදය විසඳීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු අද (29) විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් මුණගැසීමට නියමිතය. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති අයිසැක් හර්සොග් විසින් අයිසන්කොට් වෙත ලබා දී තිබෙන දින 28ක කාලසීමාවද එළඹෙන දෙසැම්බර් 06 වැනිදායින් අවසන් වීමට නියමිතය.


මේ වන විටත් අයිසන්කොට් 'Yisrael Beiteinu' සහ 'The Democrats' යන පක්ෂ සමඟ සන්ධානගත වී සිටින අතර, හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ 'Beyachad' පක්ෂයද නෙතන්යාහුගේ මෙම එක්සත් ආණ්ඩු යෝජනාව අනුමත කර තිබේ.


පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයේදී අයිසන්කොට්ගේ 'Yashar' පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ආසන 48ක් සහ නෙතන්යාහුගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 53ක් දිනාගත්තද, ආසන 120කින් යුත් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීමට කිසිදු පාර්ශ්වයක් සමත් නොවීය.


අරාබි ඡන්දදායකයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ඉහළ යාමක් සමඟ පෙර නොවූ විරූ ලෙස ආසන 19ක් දිනාගත් අරාබි සන්ධාන දෙක මෙම තත්ත්වය තුළ තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇත.


බහුතරය සකස් කර ගැනීම සඳහා අරාබි පක්ෂවල සහාය ලබා නොගැනීමට නෙතන්යාහු මෙන්ම අයිසන්කොට්ද තීරණය කර තිබුණද, 'අරාබි රාම්' පක්ෂ නායක මන්සූර් අබ්බාස් විසින් හමාස් සංවිධානය ත්‍රස්ත කණ්ඩායමක් ලෙස පිළිගන්නා බවට කළ ප්‍රකාශයත් සමඟ ඔවුන්ව ආණ්ඩුවකට සම්බන්ධ කර ගැනීමේ අවස්ථාවක් මේ වන විට උදා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

More News..