Best News Website award
brand logo
logo
වියළි මිරිස් කිලෝවක් රුපියල් 2,000ට නගී

වියළි මිරිස් කිලෝවක් රුපියල් 2,000ට නගී

18 November 2026 | සාලිය කුමාර ගුණසේකර


පිටකොටුව තොග වෙළෙඳපොළේ ඊයේ (17 වැනිදා) දිනයේදී වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,800 ක් දක්වාද කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000ක් දක්වාද ඉහළ ගොස් තිබිණි.


ඉන්දියාව විසින් වියළි මිරිස් තොග මෙරටට අපනයනය කිරීම සීමා කිරීමත් තෙතමන ප්‍රතිශතයේ පවතින ගැටලුවක් හේතුවෙන් වියළි මිරිස් බහාලුම් 120 ක් කොළඹ වරාය පරිශ්‍රයේ මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ රඳවාගෙන තැබීමත් නිසා වියළි මිරිස් මිල ගණන් මෙලෙස ඉහළ යාමට හේතු වී තිබේ.


වියළි මිරිස් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා අඩු කරන බව ජනාධිපතිවරයා 2027 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය.


වියළි මිරිස් සඳහා බදු සහනයක් ලබා දුන්නද ජනතාවට එම සහනය නොලැබෙන තත්ත්වයක් උද්ගතවීම සම්බන්ධව මාධ්‍යවේදීහු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියහ.


නිසි ප්‍රමිතියට යටත් නොවන වියළි මිරිස් සහිත බහාලුම් ගණනාවක් වරාය පරිශ්‍රයේ තිබෙන බවත් ප්‍රමිතියක් නොමැති ආහාර නිදහස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන බව එහිදී ඇමැතිවරයා කියා සිටියේය.


වරාය පරිශ්‍රයේ තිබෙන වියළි මිරිස් සහිත බහාලුම් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවත් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් එම නීති ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.


මාධ්‍යවේදියා - ආනයනකරුවන් කියා සිටින්නේ ඉදිරි කාලයේදී වියළි මිරිස් ආනයනය කර තමන්ට විශාල පාඩුවක් දරාගැනීමට නොහැකි බවයි. මේ නිසා රට තුළ තිබෙන තොග තවත් ඉහළ යාමයි සිදුවන්නේ. මේ වනවිට වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙහි අවසාන බර දරාගන්න වෙන්නේ පාරිභෝගික ජනතාවටයි.


ඇමැතිවරයා - එහි අනිත් පැත්තකුත් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර දේවල් නිදහස් කරන්න බෑ.

 

More News..