brand logo
logo
ලංගම ලොක්කන් 7කගේ වැඩ තහනම්

ලංගම ලොක්කන් 7කගේ වැඩ තහනම්

19 October 2026 | එෆ්. අස්ලම්

ඉන්ධන අර්බුදය පැවති සමයේදී මහරගම ඩිපෝව හරහා ඉන්ධන ලීටර් හැත්තෑ අට දහසක් බාහිර පාර්ශ්ව වෙත අලෙවි කර මුදල් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු ඇතුළු හත් දෙනෙකුගේ වැඩතහනම් කිරීමට එම මණ්ඩලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.


වැඩ තහනමට ලක්වූවන් අතර කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය ඉංජිනේරු, ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාරිනී (මුදල්), ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන භාරකරු, මහරගම ඩිපෝ කළමනාකරු, මහරගම ඩිපෝවේ සහකාර ධාවන කළමනාකරු, ඉන්ධන ලිපිකරු, සහකාර කළමනාකරු (ඉංජිනේරු) සිටින බව එම මණ්ඩලයේ ආරංචිමාර්ග පවසයි.


2022 වසරේදී පැවති ඉන්ධන අර්බුදයත් සමග අත්‍යවශ්‍ය සේවා හා පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට එවක රජය පියවර ගෙන තිබිණි.


මේ ආකාරයෙන් මහරගම ඩිපෝවට ලැබුණු ඉන්ධන සංචිත අතරින් ඩීසල් ලීටර් හැත්තෑ අටදහසක් නිකුත් කර ඇති නමුත් ඒ වෙනුවෙන් වන මුදල් ලංගමට ලැබී නැති බවද මහරගම ඩිපෝවේ නිලධාරින්ගේ අනුදැනුම මත එම වංචාව සිදුව ඇති බවටද පැමිණිලි රැසක්ම ලැබී ඇත.


ඒ සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින් විමර්ශනයක්ද සිදුකර තිබූ අතර එම විමර්ශනයෙන් පසු වැඩතහනමට ලක්වූ නිලධාරීන් හත් දෙනාම ඊට වගකිව යුතු බවට නිර්දේශ වී ඇත.


මේ අනුව මහරගම ඩිපෝවට නව කළමනාකරුවකු පත්කර ඇති අතර කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර තනතුරේ වැඩ බැලීම සඳහා ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයාව පත්කර ඇත.

 

More News..