brand logo
logo
අනෝජන් සිවරාසාට සිදුකර ඇති පහරදීම සහ නීතිමය තත්ත්වය ගැන විදෙස් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

අනෝජන් සිවරාසාට සිදුකර ඇති පහරදීම සහ නීතිමය තත්ත්වය ගැන විදෙස් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

07 October 2026

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතා රඳවා සිටින දමාම් බන්ධනාගාරය වෙත ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අවස්ථා දෙකකදී ගොස් ඇති අතර, එහිදී ඔහුට පහරදීමක් සිදුවූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධානියා සහ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇත.


සිරමැදිරිය තුළ තවත් රැඳවියෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවත්, වෛද්‍ය පරීක්ෂණ අනුව ඔහුගේ මුහුණේ දක්නට ලැබී ඇත්තේ අනෙක් රැඳවියාගේ නියපොතු සලකුණු සහ සීරීම් තුවාල පමණක් බවත්, කිසිදු ආයුධයක් භාවිත කර නොමැති බවත් බන්ධනාගාර වෛද්‍යවරයා තහවුරු කර තිබේ.


අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල ප්‍රගතිය සහ ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, සිවරාසා මහතාගේ ජීවිතයට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුව බන්ධනාගාරයේ වෙනත් සිරමැදිරියකට මාරු කර ඇති බවත් බන්ධනාගාර බලධාරීන් තානාපති කාර්යාලයට සහතික වී ඇති බවත්ය.


සෞදි නීති රාමුවට අනුකූලව අනෝජන් සිවරාසා මහතාට අවශ්‍ය නීතිමය සහනය ලබා දීම සඳහා රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, සිවරාසා මහතාගේ නඩුව මේ වන විට සෞදි අරාබි අධිකරණ බලධාරීන් හමුවේ විභාග වෙමින් පවතින අතර, අභියාචනාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 17 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.


එසේම, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති විශේෂඥ කණ්ඩායමක සහ සෞදි නීති උපදේශකයන්ගේ සහයෝගයෙන් රජයේ සෘජු මැදිහත්වීම මත මේ වන විට කටයුතු යොදමින් පවතී.

 

More News..