ඕමානය වැරැදි පාරේ ගමන් කළොත් අප ඔවුන්ට බෝම්බ හෙළනවා - ට්‍රම්ප්
19 August 2026
ඕමානය වැරැදි පාරේ ගමන් කළොත් අප ඔවුන්ට බෝම්බ හෙළනවා - ට්‍රම්ප්
19 August 2026
ඉරානය සමග මීට මාස කිහිපයකට පෙර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ (MOU) කාලය සඳුදා අවසන් විය. එය අත්සන් කරන ලද්දේ දින 60 ක කාලයක් ඇතුළත දෙපාර්ශ්වය අතර සටන් නිමා කිරීමේ සාකච්ඡා සඳහා කාලය ලබා ගනු පිණිසය. නමුත් පැවැති සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් විය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (සඳුදා) Fox news පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ඉරානය දැන්වත් සිය යටත්වීමේ නිවේදනය නිකුත් කළ යුතු බවයි.
මෙම නිවේදනය ඉරානයත් ඇමරිකාවත් දිගින් දිගටම එකිනෙකට තර්ජනය කර ගැනීමේ අලුත්ම සිද්ධිය වේ. කෙසේ වුවත් සාකච්ඡා සඳහා අතරමැදියන් ලෙස කටයුතු කරන පාකිස්ථානය හා කටාර් රාජ්‍යය තවමත් දෙපාර්ශ්වය සාකච්ඡා මේසයට කැඳවා ගැනීමේ උත්සාහය නතර කොට නැත.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයේ ඉස්ලාමීය විමුක්ති ආරක්ෂක, බළකාය (IRGC) සමග සිය පරිපාලනය ‘පස්සා දොරින්’ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි. එසේම ඉරානය සමග ගැටුම් නතර කිරීමට තමන්ට කිසිම හදිසියක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කොට තිබිණි.
එහෙත් විචාරකයන් පවසන ආකාරයට මේ වන විට ඉරාන යුද්ධය ට්‍රම්ප්ගේ පාලනයෙන් ගිලිහී ඇති අතර ඔහුට පැවැති ජන පදනමද බිඳී ගොස් තිබේ.
‘‘ඔවුන් හොඳ ක්‍රීඩකයන් එහෙත් ඔවුන් දැන් මරණය වෙත ගමන් කරමින් සිටිනවා.’’ ට්‍රම්ප් පවසා ඇත.
ලබන නොවැම්බරයේදී ඇමරිකාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයට එහිදී පාලන බලය හිමි වුවහොත් එය ට්‍රම්ප්ගේ ඉදිරි වැඩකටයුතුවලට බාධාවක් වේ. යුද්ධය නතර කිරීමට ඔහුට එතරම් හදිසියක් නැත්තේ එබැවිනි.
සිය න්‍යාය පත්‍රයේ (යුද්ධය) අවසන් කරන දිනයක් නොමැති බවත් තමන්ට කිසිදු හදිසියක් නොමැති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.
මේ අතර ඔහු සිය හිතවාදී රටක් වන ඕමානයට ද පහර දෙන බවට තර්ජනය කොට තිබේ. ඒ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් (සිය) යෝජනාවලිය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ හොත්ය.
‘‘ඕමානය වැරදි පාරේ ගමන් කළොත් අප ඔවුන්ට බෝම්බ හෙළනවා.’’ ට්‍රම්ප් පවසා ඇත.
ඉරාන හා ඕමාන බලධාරීන් අතර හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අනාගත නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් සති කිහිපයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පවතී. පෙරේදා ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ එය පවත්වාගෙන යාමට දෙපිරිසම එකඟ වී සිටින බවයි.
පසුගිය ජුනි මැද භාගයේ අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම මේ වන විට දින 60 ක කාලය සම්පූර්ණ කර තිබේ. එය ගෙවී ගියේ ඉරානය හෝ ඇමරිකාව තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍යතාවක් නොමැති තත්ත්වයකදීය. ඒ වෙනුවට ඔවුන් ගිවිසුමේ වගන්ති කඩ කරන බවට එකිනෙකාට දොස් පවරමින් සිටී.
‘‘අප තවදුරටත් ඇමරිකාව සමග සාකච්ඡා පවත්වනවාද යන්න තීරණය කර නැහැ.’’
ඉරාන විදේශ ඇමැති අබ්බාස් ආරග්චි ගිය සෙනසුරාදා පැවැසීය.
සිකුරාදා ට්‍රම්ප් පැවැසුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇමරිකාව අයත් ප්‍රදේශයක් ලෙස නම් කරන බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එය තවමත් තමන්ට අයත් කොටසක් බව පවසා තිබිණි.

