brand logo
logo
  ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව

ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව

01 October 2026


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.


කෙසේ වෙතත් එම නියෝගයට එරෙහිව තම සේවාදායකයා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දැනුම් දුනි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ නියෝගය අභියාචනාධිකරණය අද ප්‍රකාශයට පත්කළේය.


එම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබු‍වේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.


එහිදී නියෝගය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මෙසේ පැවසුවේය,


"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙනවා. අපරාධ යුක්ත පසඳලීමේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙනයාම සඳහා විමර්ශන සිදුකිරීම අවශ්‍යයි. මෙම සිද්ධියට අදාළව පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුවෙලා නැහැ. එම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත්වෙන්න අධිකරණය අපේක්ෂා කරන්නේ නැහැ. එසේ වුවහොත් අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රියාදාමය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වෙනවා"

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන බවට නියෝග කළ ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසරදීම සඳහා වන නොතීසි නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කළේය.


කෙසේ වෙතත් නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නැගී සිටි පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව අද දින ප්‍රකාශයට පත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවා දායකයා අපේක්ෂා කරන බව සඳහන් කළේය. 

 

More News..