brand logo
logo
දුම්රිය සේවය අගාධයට

දුම්රිය සේවය අගාධයට

28 August 2026 | • එෆ්.අස්ලම්

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාය. විශේෂයෙන් රටේ පවතින ආර්ථික තත්ත්වය මත යාන වාහන ඇති බොහෝ දෙනකු ද රැකී රක්ෂා සඳහා පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවා මගිනි. විශේෂයෙන් දුම්රිය අති බහුතරයකගේ ප්‍රවාහන මාධ්‍ය වී ඇත. එසේ වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව අද පත්ව ඇත්තේ සෝචනීය තත්ත්වයකය. ඒ දුම්රිය පරිපාලයේ දුර්වලතා මත දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් නොව රටේ ජනතාවට ඇති දුම්රිය සම්පතද දිනෙන් දින අහිමි කරවීමය.


දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වර්තමානයේ පවතින බරපතළ පරිපාලනමය දුර්වලතා සහ සේවාවන් කඩාවැටීම වසාගැනීම සඳහා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.


පවතින අර්බුදකාරී තත්ත්වය වසා ගැනීමට බලධාරීන් පදනම් විරහිත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක සඳහන් කළේය. දිනකට ධාවනය වූ දුම්රිය ගමන් වාර 450 කට ආසන්න ප්‍රමාණය දැනට 184 දක්වාත්, ඇතැම් අවස්ථාවල 150 දක්වාත් ශීඝ්‍රයෙන් කපා හැර ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.


මේ වන විට දුම්රිය එන්ජින්වල සඳහා මැදිරිවල හිඟයක් තියනවා. එවැනි පසුබිමක එන්ජින් වලට යොදන තෙල් මෙතෙක් මිලදී ගත සමාගමෙන් මිලදී ගැනීම නතර කර වෙනත් සමාගමකින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටිනවා, එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කාලයක් ගතවෙනවා. අවශ්‍ය තෙල් සංචිත රැස්නොකර දැනුමක් ඇති නිලධාරියකුගෙන් මේ ගැන විමසීමක් නොකර මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා ඔයිල් නොමැතිව දුම්රිය ධාවනය දිනෙන් දින අඩාළ වෙලා '' යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.


මීට අමතරව, උඩරට මාර්ගයේ ගමනාගමනය මාස 9 කට ආසන්න කාලයක් අඩපණ වී ඇති බවත්, රුපියල් මිලියන 3000 ක් වියදම් කර උතුරු මාර්ගයේ ඉදිකළ සංඥා පද්ධතිය තවමත් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවත් වෘත්තීය සමිති නායකයෝ සඳහන් කරති. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කිරීමට සැලසුම් කළ මාර්ගවල දුම්රිය ධාවනය වන්නේ පැයට කිලෝමීටර් 40-60 ත් අතර මන්දගාමී වේගයකින් බවත්, තාක්ෂණික දෝෂ හේතුවෙන් මගීන් පැය ගණනක් මගතොට රස්තියාදු වන බවත් ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.


කෙසේ වෙතත් මෙවැනි ආකාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අගාධයට පත්කිරීමට නැගි සිටින වෘත්තිය සමිති මර්දනය කිරීමේ උත්සහායක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිරතව සිටින බවට දුම්රිය වෘත්තිය සමිති රැසක්ම චෝදනා කරයි.


වෘත්තිය සංගම් චෝදනා කරන්නේ වත්මන් සාමාන්‍යාධිකාරිවරයා ධුරයට පත්වීමෙන් පසු මේතාක්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු ගැන කිසිදු වෘත්තිය සමිතියකින් හෝ ප්‍රවීණත්වයක් ඇති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ගෙන් කිසිදු විමසීමක් සිදුකර නැති බවය.


මීට මාස කිහිපයකට පෙර දුම්රිය සේවකයන්ගේ අතිකාල කප්පාදු කිරීමද එසේ ගත් වැරදි තීරණයක් බවද මේ හේතුවෙන් දුම්රිය මගීන්ගේ වාර ප්‍රවේශපත්‍ර මාස දෙකක පමණ කාලයක් මුද්‍රණය කිරීමට හෝ බෙදාහැරීමට නොහැකිව දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ ගණනාවක පාඩුවක් සිදුවූ බවද දුම්රිය වෘත්තිය සමිති කියා සිටිය.


මෙවැනි පසුබිමක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දුම්රිය සම්බන්ධයෙන් කතා කරන වෘත්තිය සංගම් වලට එරෙහිව චෝදනා පත්‍ර හා විනය පරික්ෂණ ආරම්භ කිරීමටද වෘත්තිය සංගම් වල දැඩි විරෝධයක් පලවී ඇත. වෘත්තිය සංගම් අවධාරණය කරන්නේ එවැනි ක්‍රියාමාර්ගයකට යන්නේ නම් වෘත්තිය සංගම් වශයෙන් අති බහුතර දුම්රිය සේවකයන් පිරිසක් වෘත්තිය ක්‍රියාමාර්ග වලට අවතීරණ වන බවය.


ඔවුන් වැඩිදුරටත් ප්‍රවාහන ඇමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුව දියණු කළ හැකි දෙපාර්තමේන්තුව පිළිබද පුළුල් දැනුමක් ඇති සුදුසු නිලධාරියකු සාමාන්‍යාධිකාරී ධුරයට පත්කරන ලෙසය.


දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා වෘත්තිය සංගම් අතර පවතින මත ගැටුමේ උච්චතම අවස්ථාව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය සේවකයන්ට හා නිලධාරීන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනමය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව, දෙපාර්තමේන්තුවට අදාළ නිල තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ බලය හිමිවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියා යන තිදෙනාට පමණි. පූර්ව අනුමැතියකින් තොරව සංවේදී තොරතුරු මුදාහැරීමෙන් ආයතනික විශ්වසනීයත්වයට හානි සිදු වන බව කියමින් මෙම පියවර ගෙන තිබුණද, වෘත්තීය සමිති චෝදනා කරන්නේ සේවකයන් බිය ගන්වා තම හඬ නිහඬ කිරීමට පාලනාධිකාරිය උත්සාහ කරන බවයි.


කෙසේ වෙතත් දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන, මෙහෙයුම්, පරිපාලන කටයුතු රැසක් සදහාම භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ජාලාය. විශේෂයෙන් වට්ස්ඇප් තාක්ෂණය ය. රාජ්‍ය පරිපාලනස සේවා චක්‍රලේඛය මගින්ද වියදම් අවම කරලීම සඳහා හැකි උපරිමයෙන් සමාජ මාධ්‍ය ජාලා විශේෂයෙන් වට්ස්ඇප් භාවිතා කරන ලෙස උපදෙස් දී ඇති පසුබිමක එම කටයුතු ද සාර්ථකව සිදුවෙමින් පවතින අවධියක වෘත්තිය සංගම් නිහඬ කිරීමේ අරමුණින් සාමාන්‍යාධිකාරිවරයා මෙවැනි නියෝගයක් පනවමින් චක්‍රලේඛ පැනවීම ගැටලුවක් බවය.


විශේෂයෙන් දුම්රිය ධාවනය වන වේලාවන් හා පිටවන වේලාවන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අතරේ පණිවුඩ යොමුවන්නේ වට්ස්ඇප් සමූහයක් මගිනි. විශේෂයෙන් දුම්රිය මගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන දුම්රිය මගින්ගේ නිල සමූහය ( RDMNS) යෙදුමට අනුව දුම්රිය පිළිබද මගීන්ට තොරතුරු ලැබෙන්නේද ඒ අනුවය.


දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන ආකාරයට විනය ක්‍රියාමාර්ග වලට ලක් නොවී කටයුතු කරන්නේ නම් මේ සියල්ලම පාහේ නතර කළ යුතු බව දුම්රිය වෘත්තිය සංගම් දක්වන මතයය.

 

More News..