Best News Website award
brand logo
logo
 ලන්දේසින් මහනුවරින් රැගෙන ගිය තුවක්කු 2ක් යළි ශ්‍රී ලංකාවට

ලන්දේසින් මහනුවරින් රැගෙන ගිය තුවක්කු 2ක් යළි ශ්‍රී ලංකාවට

26 November 2026


ලන්දේසි පාලන සමයේදී මහනුවර රාජධානියෙන් රැගෙන ගිය ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ‘මහා තුවක්කු’ (Rampart Guns) ලෙස හැඳින්වෙන ඉපැරණි තුවක්කු දෙකක් යළි මෙරටට භාරදීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ.


වසර 250කට වැඩි ඉතිහාසයක් සහිත මෙම පුරාවස්තු මේ වනවිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි පිහිටි ජාතික කෞතුකාගාරය වන ‘Rijksmuseum’ හි තැන්පත් කර ඇත.


එම කෞතුකාගාරයේ පර්යේෂකයන් සහ ශ්‍රී ලාංකික විද්වතුන් එක්ව සිදුකළ දීර්ඝ පර්යේෂණයකින් අනතුරුව මෙම තුවක්කු ශ්‍රී ලංකාවට අයත් පුරාවස්තු බව තහවුරු කරගෙන තිබේ.


එහිදී ඒවා ශ්‍රී ලංකාවේ ‘මහා තුවක්කු’ ලෙස හැඳින්වෙන විශේෂිත වර්ගයකට අයත් බවද හඳුනාගෙන ඇත.


මෙම තුවක්කු 18 වැනි සියවසේදී නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර, මීට පෙර 2023 වසරේදී ද එරට රජය විසින් ඉපැරණි තුවක්කු දෙකක් ශ්‍රී ලංකාවට යළි භාරදීමට කටයුතු කර තිබේ. මෙවර භාරදීමට නියමිත තුවක්කු දෙකද එම තුවක්කුවලට සමාන ලක්ෂණවලින් යුක්ත බව සඳහන් වේ.


1765 වසරේදී ලන්දේසි පාලන සමය තුළ මහනුවර රාජධානිය සමඟ පැවැති යුද්ධයකදී මෙම තුවක්කු අත්පත් කරගන්නට ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම, එක් තුවක්කුවක මහනුවර රාජධානියේ පාලක රජුට සම්බන්ධ සටහන් ද ඇතුළත් බව පර්යේෂකයෝ පවසති.


මෙම වටිනා සංස්කෘතික උරුමයන් යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

 

More News..