brand logo
logo
 මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්

31 October 2026


මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


මුතුරාජවෙල වගුරුබිම් ආශ්‍රිතව, පමුණුගම වෙරළ ආශ්‍රිත පාරිසරික හානි, සීදුව ලියනගේමුල්ල කර්මාන්ත ආශ්‍රිත ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු විය.


ඒ අනුව මෙම ප්‍රදේශවල සිදුවන පාරිසරික හානි නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.


එම පාරිසරික ගැටලුවලට තිරසර විසඳුම් ලබා ගැනීම අරමුණු කරගෙන ජනතා නියෝජිතයන් සහ ප්‍රජා සංවිධානවලින්ද සමන්විත කමිටු පිහිටුවීමට මෙහිදී තීරණය විය.


අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජේ. ඩී. ඇන්තනි රදගුරුතුමා, සිරිල් ගාමිණී පියතුමා, නිලන්ත හේෂාන් පියතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, ස්ටෙෆනි ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර, පරිසර අමාත්‍යාංශයේ වැඩසටහන් සහකාර ආචාර්ය එම්. ජී. එම්. ප්‍රසන්න, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඩී. පී. සී. උදය කුමාර, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) අයි. ඩබ්. පී. සේනාරත්න යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..