සිරගතවන භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්
08 October 2026
සිරගතවන භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්
08 October 2026
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තබා ගැනීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කිරීමට නියමිතය.
සති දෙකක් ඇතුළත පවතින නීති හා රෙගුලාසි අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පැවරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බලපාන කරුණු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර ඊට අනුරූපව සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (08) ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමාන බන්ධනාගාර පද්ධතිය 1877 වසරේ සම්මත කළ බන්ධනාගාර ආඥා පනත, අමාත්‍යවරයා විසින් පනවන රෙගුලාසි සහ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන නිත්‍ය නියෝග මත පාලනය වන බවයි.
එම නීති පොදු සිරකරුවන් කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇති අතර, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන පවතින්නේ සීමිත වශයෙන් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට අදාළව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පවතින නීති අනුව බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් පලක් නොමැති බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම, පවතින නීතිය වර්තමාන තත්ත්වයට නොගැළපෙන්නේ නම්, පුද්ගලයන්ට අනුව නියෝග නිකුත් කිරීම වෙනුවට නිසි ක්‍රමවේදයක් යටතේ නීති සංශෝධනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
නව රෙගුලාසි එක් හිමිනමක් ඉලක්ක කර නොගෙන, බන්ධනාගාරගත වන සියලු භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන පරිදි සකස් කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

