පිල්ලෙයාන් පිල්ලියක්ද ?
18 April 2025
පිල්ලෙයාන් පිල්ලියක්ද ?
18 April 2025
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නමැති නැගෙනහිර පළාත පදනම් කරගත් දෙමළ දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වසර දහඅටකට පෙර යම්කිසි කණ්ඩායමක් විසින් අතුරුදන් කරනු ලැබූ බව කියන නැගෙනහිර සරසවියේ හිටපු උප කුලපති මහාචාර්ය ශිව සුබ්‍රමනියම් චන්ද්‍රකාන්තන් සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශනවලට අනුවය. හිටපු උපකුලපතිවරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීද පිල්ලෙයාන්ට එරෙහිව චෝදනා නැගිණි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන්ද පැවැත් වූ විමර්ශන අනුව පිල්ලෙයාන් වසර පහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. මෙසේ එල්ල වූ චෝදනා සහ ඒ පිළිබඳ පැවැත්වූ විමර්ශන හේතුවෙන් පිල්ලෙයාන් මෙයට පෙරද කිහිප අවස්ථාවකදීම අත්අඩංගුවට ගනු ලැබූ බව පැහැදිලිය.
පිල්ලෙයාන් යනු නැගෙනහිර පළාතේ හිටපු කොටි නායකයකි. ඔහු නැගෙනහිර කොටි නායක කරුණා තම සුවිසල් පිරිස සමග කොටි සංවිධානයෙන් කැඩී යාමත් සමග ඊට එකතු විය. කොටි සංවිධානය පිළිබඳ ඉතිහාසය විමසන විට පැහැදිලි වන්නේ ප්‍රභාකරන් ලැබූ ප්‍රබලම පරාජයන් අතර කරුණා සහ පිල්ලෙයාන් ඇතුළු නැගෙනහිර පළාත නියෝජනය කළ කොටි බළ මුළුව ඔහුට අභියෝග කර ඉවත්වීම සඳහන් කළ හැකිය. ඕනෑම ගරිල්ලා සංවිධානයක් අභ්‍යන්තරික වශයෙන් දෙකඩවීම දෙදරායාම එම සංවිධානයේ පරාජයට හේතු වන බව තතු දන්නෝ දනිති. ඒ ආකාරයට උතුරේ කොටින්ගෙන් නැගෙනහිර කොටි ඉවත්ව යාම කොටි සංවිධානයේ බිඳවැටීමට හේතු විය. ප්‍රභාකරන්ට හොඳ සටන්කරුවන් ලැබුණේ නැගෙනහිරිනි. එපමණක් නොව විශාල පිරිස් බලයක් ද ඔහුට ඉන් හිමිවිය. කරුණා සහ පිල්ලෙයාන් ප්‍රභාකරන්ගෙන් වෙන්වයාම හේතුවෙන් ඒ සියල්ල ඔහුට අහිමි විය. ඒ අවස්ථාවේ නැගෙනහිර කොටි නායකයෝ ඉතා අවදානම් සහගත තීරණයක් ගත්හ. එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංගගෙන් නැගෙනහිර කොටි ආරක්ෂාව ඉල්ලුවද ඇය ඊට එකඟ වූයේ නැත. එසේ ආරක්ෂාව ලබා නොදුන් හෙයින් ප්‍රභාකරන්ට අභියෝග කර එළියට පැමිණි නැගෙනහිර කොටි සාමාජිකයන් රැසකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.
කරුණා ඇතුළු නායකයන්ට ජීවිත රැකගැනීමට ලොකු සටනක් කිරීමට සිදු විය. දසක තුනකට ආසන්න කාලයක් තිස්සේ ගොඩනැගුණු කොටි සංවිධානය 2009 වසර වන විට පරාජය කිරීමට නැගෙනහිර කොටින් ප්‍රභාකරන්ගෙන් වෙන්වයාම ප්‍රධාන සාධකයක් විය. සතුරු කණ්ඩායමක් පරාජය කිරීමේදී ඒ කණ්ඩායම බලය පතුරුවා සිටින භූමිය, ගමන් මාර්ග, ඔවුන්ගේ යුද ශක්තිය ආදිය පිළිබඳ කරුණු ඉතාම වැදගත් බව යුද විශේෂඥයෝ දනිති. ප්‍රභාකරන් පරාජය කිරීමේදී ඒ වාසිය යුද හමුදාවට ලැබිණි. තිස් වසරක යුද්ධය අවසන් වූයේ එවැනි පසුබිමකය. එක දහස් නවසිය අනූව දශකයේ සිට කොටි සංවිධානයේ සාමාජිකයකු සේ කටයුතු කළ පිල්ලෙයාන් 2004 වසරේදී ඉන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එකතු වීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයකි. ඔහු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගේ බොහෝ දුරක් ගියේය. වරක් ඔහු පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් ජය ලැබුවේ බන්ධනාගාරගතව සිටියදීය. ඔහු එවැනි ජන පදනමක් සහිත නායකයකි. එමගින් ඔහු වරදක්, නීති විරෝධී ක්‍රියාවක් කර තිබේ නම් ඒ පිළිබඳ මුනිවත රැකිය යුතු යැයි අප සඳහන් කරන්නේ නැත.
එහෙත් අපට පෙනෙන පරිදි පිල්ලෙයාන් දේශපාලන තුරුම්පුවක් සේ පාවිච්චි කිරීමේ වුවමනාවක් යම්කිසි පිරිසකට තිබේ. පිල්ලෙයාන් වැනි ප්‍රභාකරන්ට අභියෝග කරමින් ඔහුගේ ත්‍රස්තවාදී කඳවුරෙන් එළියට පැමිණි අය කොටු කිරීමේ වුවමනාවක් කොටි හිතවාදී ඩයස්පෝරාවට තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. සමහරුන් සඳහන් කරන ආකාරයට ආණ්ඩුව කරමින් සිටින්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරමින් ඉදිරි මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර දෙමළ ඡන්ද තමන් පැත්තට යොමුකර ගැනීමය. එවැනි දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් කෙරෙන්නේ නම් ජනතාව අපේක්ෂා කළ පුනරුදය එය දැයි ගැටලුවක් මතුවෙයි. රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත් එය පටු දේශපාලන න්‍යාය පත්‍රයක එක් අංගයක් නොවිය යුතුය. බොහෝවිට අප දැක තිබෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වීම ඒ ඒ ආණ්ඩුවල පටු දේශපාලන න්‍යාය පත්‍රයේම කොටසක් වීමය.
වෙසෙසින් මෙහිලා සඳහන් කළ යුත්තක් නම් අඟහරු ලෝකයෙන් ගොඩබෑ උන් සේ සමහර ළපටින් කටයුතු කිරීමය. කොටි සංවිධානය මුළු රටම අඩපණ කරමින් ක්‍රියාත්මක වූ ආකාරය හෝ ඊට එරෙහිව කරුණා- පිල්ලෙයාන් ඇතුළු නැගෙනහිර කොටි සාමාජිකයන් කළ කැපකිරීම්, පරිත්‍යාගයන් ඔවුන් දන්නේ නැත. සාමය වෙනුවෙන් ගෙවූ මිල කෙබඳු එකක් දැයි බොහෝ අඳ බාලයන් දන්නේ නැත. එපමණක් නොව දන්න සමහරු ඒ අතීතය අමතක කරති. රටේ සාමය වෙනුවෙන්, ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බරපතළ අවදානමක් ගැනීම පහසු කරුණක් නොවේ. රෝහණ විජේවීර ද කැලයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පැමිණීමට කිහිප විටක් උත්සාහ කළද ඒ ප්‍රයත්නයන් සාර්ථක වූයේ නැත. සමහර ඒවා අසාර්ථක වූයේ ඒ පිළිබඳ දිරිමත් අදහසක් ඔහුට නොතිබුණු හෙයිනි.