brand logo
logo
තේ කම්හල් දර සදහා ලක්ෂ 17 ක්  ගස්  කපයි

තේ කම්හල් දර සදහා ලක්ෂ 17 ක් ගස් කපයි

03 April 2024 | සාලිය කුමාර ගුණසේකර


තේ කර්මාත්තශාලා සඳහා දර සපයා ගැනීමට වසරකට ගස් ලක්ෂ 17 ක් කපන බව අනාවරණය වේ.


තිරසාර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලිකත්ව හවුල්කාරීත්ව වැඩසටහන ආරම්භ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (02 වැනිදා) පැවැති වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.


තේ කර්මාන්තශාලා සඳහා වසරකට දර මෙට්‍රික් ටොන් 525,000 ත් 550,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත්, එය කියුබික් මීටර් ලක්ෂ 13 ක් බව එතිකල් ටී පාර්ටනර්ෂිප් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.


මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 300 ක් වන බවත්, තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී ඉන්ධන සඳහා පමණක් රුපියල් 20 ත් 25 ත් අතර මුදලක් වැය වන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසුවේය.


මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 65 ක් නිපදවන පුද්ගලික තේ කර්මාන්තශාලා සතුව දර සපයන වන වගා හෝ ඒ ආශ්‍රිත වන වගාවන් නොමැති බවත්, එම කර්මාන්තශාලාවලට දර සපයනු ලබන්නේ කොන්ත්‍රාත්කරුවන් විසින් බවත් හෙළිවී ඇත.


ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින්ද සිය දර අවශ්‍යතාවයෙන් සියයට 73 ක්ම සපයාගනු ලබන්නේ කොන්ත්‍රාත්කරුවන්ගෙනි.


මෙලෙස තේ කර්මාන්තශාලාවල මිශ්‍ර දර භාවිත කරනවා වෙනුවට ඒ ඒ ප්‍රදේශයට ගැළපෙන පරිදි ග්ලිඩිසීරියා, ඉපිල් ආදී ශාක වගා කර, එම දැව කැබලි බවට (චිප්ස්) පත්කර කර්මාන්තශාලාවලට යොදා ගැනීම සම්බන්ධව තිරසාර ජෛව ස්කන්ධ ජාතික ප්‍රතිපත්ති රාමුවකට අදාළ එකඟතා ගිවිසුමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ආයතනය එක්ව ඊයේ (02 වැනිදා) අත්සන් කෙරිණි.


ග්ලිඩිසීරියා, ඉපිල් ඉපිල් දර කැබලි ලෙස (චිප්ස්) ලෙස භාවිත කිරීම මගින් බලශක්ති කාර්යක්ෂමතාවය සියයට 50 කින් ඉහළ යන බවත්, දර සඳහා වැයවන වියදම සියයට 50 කින් අඩුවන බවත් තේ පර්යේෂණායතනය සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.


මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ මෙරට තේවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පවතින බවය. මෙරට තේ යුරෝපා රටවලට සැපයුම අඩුවී තිබෙන බවත්, මැදපෙරදිග රටවල්වලට සැපයුම වැඩිවී තිබෙන බවත්, තේවල ගුණාත්මක තත්ත්වයට වඩා රටවල්වලට යවන ප්‍රමාණය පිළිබඳව පමණක් මේ වෙද්දී අවධානය යොමුවී ඇති බවත් හෙතෙම කීය.

 

More News..