ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවේ
30 September 2026
ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවේ
30 September 2026
ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ ඉදිරියේදී ප්‍රධාන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, 2027–2029 කාල සීමාව තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද එතුමිය පැවසුවාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් 'ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය' පිළිබඳව කොළඹ හෝටලයක සංවිධානය කරන ලද 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් ඇය මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, පාරිසරික සංරක්ෂණය සඳහා නීති රීති පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පරිසරය පිළිබඳ වගකීම අධ්‍යාපන පද්ධතිය තුළින්ම ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාරිසරික අධ්‍යාපනය, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථික සංකල්ප පාසල් විෂය මාලාවට ප්‍රායෝගිකව ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද පැවසූ අග්‍රාමාත්‍යවරිය, පාසල් මට්ටමින් “හරිත පාසල්” සංකල්පය ප්‍රවර්ධනය කරමින්, දරුවන් කුඩා වියේ සිටම 'ශුන්‍ය අපද්‍රව්‍ය' (Zero Waste) පුරුදු සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.
මීට අමතරව, මෙම ගැටලුවලට ප්‍රායෝගික සහ නවෝත්පාදනාත්මක විසඳුම් සෙවීම සඳහා ඉංජිනේරු විද්‍යාව, සමාජ විද්‍යාව වැනි ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගත් අන්තර් විෂයීය ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස විශ්වවිද්‍යාල සහ පර්යේෂකයන්ගෙන් ඇය ඉල්ලා සිටියාය.
එමෙන්ම අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු, හරිත පරිසරයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

