මත්ද්‍රව්‍ය අත්හදා බලන ළමයින්ගෙන් 60%ක් එය නැවත නැවත කරනවා
13 October 2025 | ශ්‍රියානි විජේසිංහ
මත්ද්‍රව්‍ය අත්හදා බලන ළමයින්ගෙන් 60%ක් එය නැවත නැවත කරනවා
13 October 2025 | ශ්‍රියානි විජේසිංහ
මේ වන විට පාසල් දරුවන් පවා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවට යම් යම් තොරතුරු වාර්තා වෙයි. එමෙන්ම ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පාසල් දරුවන් යොදා ගන්නා බවද කියැවෙයි. මෙලෙස මත්ද්‍රව්‍යවලට පාසල් දරුවන් ගොඳුරු වීම වළක්වා ගැනීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාසල් තුළ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ඒ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර නිලධාරිනී මහේෂී මධුවන්ති සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ලබා දෙන දායකත්වය ගැන අපි මුලින්ම කතා කරමු?
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ, පුනරුත්ථාපන, දැනුම්වත් කිරීම් හා පර්යේෂණ ආදී කටයුතුවල යෙදෙන ආයතනයක්. මෙහිදී විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. යම් හේතුවකින් මත්ද්‍රව්‍ය අනුකරණය කරන, අත්හදාබලන දරුවන් හඳුනාගත්තොත් ඒ අයව දැනුම්වත් කරනවා. ඊට අමතරව පුනරුත්ථාපනය හා ප්‍රතිකාරවලට යොමු කිරීමේ කටයුතුත් කරනවා.
මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව පාසල් දරුවන්ව දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලදී පවා ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය ප්‍රචාරණ කටයුතු සිදු වෙනවා වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති කුතුහලය නිසා පාසල් දරුවන් ඒවාට යොමු වෙන්න ඉඩ තියෙනවා කියලා සමහරු කියනවා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?
අනිවාර්යයෙන්ම ඔව්. එවැනි දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දැනුම්වත් කිරීම් විද්‍යාත්මකව, ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුතුව ඉතාමත් පරිස්සමින් කළ යුතුයි. එලෙස ප්‍රවේශම් නොවුණහොත් මත්ද්‍රව්‍ය පිළිබඳව කරන දැනුම්වත් කිරීම් හරහා ළමයින් එම මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට, අනුකරණය කිරීමට මෙන්ම භාවිත කිරීම සඳහා යොමු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙම දැනුම්වත් කිරීම් කළ යුතු වන්නේ විද්‍යාත්මක රාමුවක් තුළ ඉතාමත් ප්‍රවේශම් සහගතවයි. ඒ නිසා පාසලක් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපි ගුරු ශික්ෂා, දෙගුරු ශික්ෂා හා සිසු ශික්ෂා ආදී වශයෙන් බෙදා වෙන්කරමින් තමයි මේ දැනුම්වත් කිරීම් කරන්නේ.
යම් පාසල් පරිසරයක් තුළ මත්ද්‍රව්‍ය අත්හදා බලන ළමයින් සිටින බව හඳුනාගෙන තියෙනවා කියලා අපි හිතමුකෝ. එවැනි ළමයින් වෙනුවෙන් ඔබේ ආයතනය මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නේ?
එවැනි ළමයෙක් හඳුනාගත්තොත් අපි මුලින්ම ඒ ළමයාට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. මොකද පාසල තුළදී දරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ නැහැනේ. පාසල් ළමයින් කියන්නේ මත්ද්‍රව්‍ය අත්හදා බලන, අන් අයව අනුකරණය කරන අභියෝගයන්ට අභියෝග කරන “මම පොර” කියන සංකල්පමය කාලය තුළ ජීවත් වන කොටසක්. අපි ඔවුන් සමග ඔවුන්ට ඇති ප්‍රශ්න ගැන කතා කරමින් පිළිතුරු ලබා ගන්නවා. දරුවන් ලබාදෙන පිළිතුරු අනුව අපි විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා.
පාසල් තුළ මත්ද්‍රව්‍ය අත්හදා බලන සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූ දරුවන් කොපමණ සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන තියෙනවද?
සංඛ්‍යාත්මක අගයක් නම් අපිට නිවැරදිව ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. සමහර විට මත්ද්‍රව්‍ය අත්හදා බැලූ දරුවන් අපේ දේශනවලින් පසුව ඒ පුරුදු අතහැර දමනවා වෙන්නත් පුළුවන්. සංඛ්‍යාවක් තිබුණත් එය නිරන්තරයෙන්ම විචල්‍ය වෙන්නයි වැඩි ඉඩක් තියෙන්නේ.
මත්ද්‍රව්‍යවල ඇබ්බැහි වූ දරුවන් කොපමණ සංඛ්‍යාවක් මේ වන විට පුනරුත්ථාපනයට හා අදාළ ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරලා තියෙනවාද?
මේ වන විට දරුවන් 25ක් පමණ අපි පුනරුත්ථාපනයට සහ ප්‍රතිකාර සඳහා යොමුකරල තියෙනවා. මහනුවර පුනරුත්ථාපන ආයතනයටයි ඔවුන් යොමු කරලා තියෙන්නේ. නමුත් පුනරුත්ථාපනයට යොමු කළ යුතු තවත් දරුවන් පිරිසක් හඳුනාගෙන තිබුණත් ඉඩකඩ සීමා සහිත නිසා ඒ අයව පුනරුත්ථාපනයට යොමු කිරීමේ ප්‍රමාදයක් වෙලා. කොහොම වුණත් මෑතකදී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ.
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ගෙන යන දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා අධ්‍යපාන සහ පුහුණු නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් සහභාගි වෙනවද? සියලුම පාසල් ශිෂ්‍යයන් දැනුම්වත් කරන්න ප්‍රමාණවත් තරම් නිලධාරීන් ඉන්නවද?
ඇත්තටම අපේ ආයතනය සතුව පාසල් තුළ වැඩසටහන් මෙහෙයවන අධ්‍යාපන හා පුහුණු නිලධාරීන් ඉන්නේ 22ක් පමණයි. සමහර දිස්ත්‍රික්ක වලට පුහුණු නිලධාරීන් නැහැ. එවැනි දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කටයුතු ප්‍රධාන කාර්යලයේ සිට ක්‍රියාත්මක කරනවා. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8ටම ඉන්නේ දෙමළ මාධ්‍ය එක් නිලධාරියෙක් පමණයි. අපේ සීමිත නිලධාරීන් තමන්ගේ කාර්යය උපරිම දායකත්වයක් ලබා දෙමින් ක්‍රියාත්මක කරනවා. නමුත් ක්ෂේත්‍රය තුළ මීට වඩා නිලධාරීන් පිරිසක් රාජකාරියේ යෙදිලා ඉන්නවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පාසල් තුළ සිදුකරන දැනුම්වත්කිරීමේ වැඩසටහන් සඳහා විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන දායකත්වය ගැනත් මතක් කරමු?
බොහෝ අවස්ථාවල විදුහල්පතිවරුන් ගුරුවරුන් අපේ මේ වැඩසටහන් වලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒත් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම ගුරුවරුන්ගෙන් අපේ වැඩසටහන් සඳහා ලැබෙන සහය, උනන්දුව මැදිහත්වීම අවම මට්ටමක තියෙන අවස්ථාවනුත් නැතිවාම නොවෙයි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට අවශ්‍ය සහයෝගය ලබා නොදුන්නොත් ඔබේ ආයතනයට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය කරා ළඟා වෙන්න හැකියාවක් නැහැ නේද?
අනිවාර්යයෙන්ම ඔව්. මොකද පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියලා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2023 වර්ෂයේදී චක්‍රලේඛයක් හරහා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව එක පාසලට එක කමිටුවක් බැගින් පිහිටුවීම අවශ්‍යයි. නමුත් ඇතැම් පාසල්වල එවැනි කමිටු පිහිටුවලා නැහැ. අනෙක ඇතැම් පාසල්වල පිහිටුවලා තියෙන කමිටුවලත් සංයුතියේ සහ ක්‍රියාත්මක වීමේ ගැටලු තියෙනවා.
පාසල්වල පිහිටුවා තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ගැන තව ටිකක් පැහැදිලි කළොත්?
මේ කමිටුවල පිටස්තර පුද්ගලයන්ගේ නියෝජනයක් නැහැ. දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන්ගෙන් තමයි මේ කමිටු නිර්මාණය වෙන්නේ. පාසල තළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ගැටලුව විසඳා ගන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම මේ කමිටුවල තියෙන ලොකු ගැටලුවක්.
මොකද ගුරු විදුහල්පතිවරුන් බොහෝ දෙනෙක් වැඩි අවදානයක් යොමු කරන්නේ සහ වැඩි ඉඩක් ලබා දෙන්නේ පාසල් විෂයය නිර්දේශ වෙනුවෙන්නේ. ඒක වැරදියි කියලා මම කියන්නේ නැහැ. නමුත් විෂයය නිර්දේශ ආවරණය කිරීම සඳහා සම්පූර්ණම කාලය වැය වෙද්දී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සඳහා වෙලාවක් ලබා ගැනීම ඉතාමත් අසීරු වන අවස්ථාත් තියෙනවා. අනෙක මත්ද්‍රව්‍ය අත්හදා බලන හෝ ඒවා සම්බන්ධයෙන් විවිධ ගැටලුවලට මුහුණපාන ශිෂ්‍යයන්ගේ ඒ ගැටලු ගැන කතා කරන්න සුදුසු ගුරුවරයකුත් බොහෝ පාසල් තුළ නෑ. මේ සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන් දැනුම්වත් නැහැ. පාසල තුළ සිටින උපදේශන ගුරුවරුන් සමග අනෙක් ගුරුවරුන්ගේ සම්බන්ධතාවනුත් එතරම් ශක්තිමත් නැහැ. පාසලකින් මත්ද්‍රව්‍ය අත්හදා බලන දරුවෙක් හඳුනාගත්තා කියලා හිතමුකෝ. ඇතැම් පාසල්වල ගුරුවරු කරන්නේ ඒ දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් කියලා මානසික අපයෝජනයට ලක්කරලා පාසලෙන් පවා ඒ දරුවාව ඉවත් කරන එකයි. ඒ විදිහට පාසලෙන් ඉවත් කරන දරුවා අනුකරණය කරන්නෙක් මිස මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූවෙක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අවුරුදු 12 – 17 අතර දරුවෙක් මත්ද්‍රව්‍යයක් අත්හදා බැලීමක් කරනවා නම් එය නැවැත නැවැත කිරීමේ සම්භාවිතය සියයට 60ක් පමණ වන බවයි.
ඇතැම් මත්ද්‍රව්‍ය අලෙවිසල් ඉතාමත් අලංකාරවත් අන්දමින් මෙන්ම ආකර්ෂණීය ආකාරයෙන් සරසලා තියෙනවා. ඒ හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරණයක් වෙනවානේ. එවැනි අලෙවිසල් සම්බන්ධයෙන් ඔබේ ආයතනය මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නේ?
මත්ද්‍රව්‍ය අලෙවි කරන ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල අප සතුව නැහැ. ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටයි.
මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමට අපේ රටේ බොහෝ ආයතන සහ පුද්ගල කණ්ඩායම් විවිධ අයුරින් ක්‍රියාත්මක වන බව අපිට පේනවා. නමුත් එම පුද්ගලයන් සහ ආයතන අතර අන්‍යෝන්‍ය වශයෙන් සෘජු සම්බන්ධතාවයක් ගොඩනැගිලා නෑ නේද?
ආයතන අතර එවැනි සම්බන්ධතාවක් නොමැති කම බරපතළ ප්‍රශ්නයක්. එක් ආයතනයකින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ආයතන කිහිපයක්ම එකට එකතු වීමේ අවශ්‍යතාවක් තියෙනවා. එලෙස සහසම්බන්ධ නොවී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ කටයුතු මෙසේ පරිදි කරන්න බැහැ. ඇත්තටම එවැනි එකතු වීමක් නොමැති තැනක කටයුතු කිරීම අපහසුයි. මේ නිසාම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට සම්බන්ධ වන සියලු ආයතන එකතු වෙලා බහුපාර්ශ්වීයව කටයුතු කළ යුතු බව පහුගිය දිනයක අගමැතිනියගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදී කියැවුණා. අධිකරණ අමාත්‍යංශය, පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව , යෞවන කටුයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ආදි සියලුම ආයතන එක් වෙමින් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතු බව වැඩිදුරටත් සාකච්ඡා කළා.

