තෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
24 August 2026
තෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
24 August 2026
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර හෙට (25) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
2026 අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ.
මේ වෙනුවෙන් මාර්ග බාධක යෙදවීම, විශේෂ ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් පොලිසිය විසින් දියත් කර ඇත.
ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ.
විකල්ප මාර්ග
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
නගරයේ සිට අම්පිටිය, තෙල් දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක. තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කල හැකිය.
පෙරහර නැරඹීමට පැමිණෙන මහජනතාවගේ සහ රියැදුරන්ගේ පහසුව උදෙසා මෙම රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් ඉල්ලා සිටී.

