brand logo
logo
 සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි - අගවිනිසුරු

සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි - අගවිනිසුරු

22 June 2026


පුද්ගලයෙකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, "සාර්ථක වෘත්තිකයෙකු" වීම යනු මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසයි.


ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (22) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය අමතමිනි.


නීති ක්ෂේත්‍රයට අලුතින් එක්වූ නවක සාමාජිකයින් වෙත අධිකරණයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින් වෙනුවෙන් ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තීය සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වන බවයි.


අද දින දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙන බවත්, ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරන බවත් අගවිනිසුරුවරයා සිහිපත් කළේය.


හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයන් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට පනතේ පවා පැහැදිලිව සඳහන්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.


නීතිඥවරයෙකු ලෙස තමන්ගේ ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගෙන යාමට සැමට වගකීමක් ඇති බවත්, අද දින දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.


වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන බාහිර ජීවිතයේදී ද අවංකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්, වෘත්තියේ ගරුත්වය රැඳී පවතින්නේ ඔවුන් හැසිරෙන ආකාරය මත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 

More News..