roadBlockMobile
brand logo
logo
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 7ක් රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 7ක් රිමාන්ඩ්

10 July 2024 | ඉෂාර රත්නකාර

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිවුදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 22 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය අද (10 වැනිදා) නියෝග කළේය.


කඩුවෙල මහෙස්ත්‍රාත් ඩානිමා විජය බණ්ඩාර විසින් එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරනු ලැබුවේ අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු වන බලපිටිය, මොහොට්ටියාවත්ත, ශ්‍රී ගුණානන්ද මාවත පදිංචි 28 හැවිරිදි දුලාන් සංජුල ද සිල්වා, රත්මලාන යුද හමුදා කඳවුරේ ඉංජිනේරු බළකායේ හිටපු සෙබළෙකු වන අහුන්ගල්ල, එගොඩමුල්ල ධම්ම කුසල මාවත පදිංචි 26 හැවිරිදි එම්.ධනුෂ්කද සිල්වා, අහුන්ගල්ල, එගොඩමුල්ල, ධම්මකුසල මාවත පදිංචි 23 හැවිරිදි ටී.එම්.වයි. කාවින්ද සිල්වා, අම්බලන්ගොඩ ගොඩහේන, රතුකුරුස නිවාස පදිංචි 37 හැවිරිදි පී.එච්.ආර්. ලක්මාල්, බෙලිඅත්ත, ගම්මුල්ල, ගල්වඩුගෙදර පදිංචි 37 හැවිරිදි ඩබ්ලිව්.කේ. චතුරංග ලක්මාල්, බෙලිඅත්ත පාළුවත්ත, විල්සන් පාර පදිංචි 28 හැවිරිදි එස්.ඩබ්ලිව්. කේශාන්, බෙලිඅත්ත, අත්බෝධිය පදිංචි 31 හැවිරිදි ජී.ජේ. විජේසිරි යන සැකකරුවන් 7 දෙනෙකි. මෙම සැකකරුවන් අතර කොන්දොස්තරවරයෙක් ත්‍රිරෝද රථ රියැදුරෙක් සහ ව්‍යාපාරිකයකුද සිටිති.


මෙම සිද්ධියෙන් ජනප්‍රිය ගායිකා කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන ඇතුළු පිරිසක් තුවාල ලබා තිබුණි.


මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන පැය 48 ක කාලයක් ප්‍රශ්න කිරීමට අවසර දෙන්නැයි අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර, එම සැකකරුවන් 7 දෙනා ලබන 22 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.


මෙම අපරාධ සිදුවූ අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටිමින්, ඩුබායි රටෙහි සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නොහොත් ලොකු පැටී යන අයගෙන් රුපියල් ලක්ෂ 16කට ආසන්න මුදලක් ලබාගෙන ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ ටැටූ ආයතනයේ හිමිකරු වන බලපිටියේ පදිංචි දුලාන් සංජුලා ද සිල්වා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරුගිරිය පොලිසිය විසින් ඉදිරිපත් කර තිබිණි.

 

More News..