Best News Website award
brand logo
logo
යාපනය ඩෙල්ෆ්ට් දූපතේ අභිනව ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොග ළඟා වෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ අභිනව ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොග ළඟා වෙයි

26 November 2026


යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබේ.


ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය, යාපනය කන්කසන්තුරේ වරාය ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් නාවික හමුදා නෞකාවක් මගින් ඉතා ආරක්ෂිතව ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙන ගොස් ඇත.


මෙම ඉන්ධන රැගත් බවුසර් රථ කන්කසන්තුරේ වරායේ සිට ඩෙල්ෆ්ට් දූපත දක්වා ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලැබුවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා 'රණගජ' නෞකාව මගිනි.


ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරවුම්හල ස්ථාපිත කෙරුණු අතර, දූපතේ ප්‍රවාහන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.


මෙම නව පිරවුම්හල හරහා ඩෙල්ෆ්ට් දූපත් වැසියන්ට ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත් හා පහසු කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් වී ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.


පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ උත්සවයේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුණු අතර, 2026 ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

 

More News..