ජෝඩුව එකට නානව නම් මඳසරු ප්‍රශ්න අඩුයි
23 June 2025 | ශ්‍රියානි විජේසිංහ
ජෝඩුව එකට නානව නම් මඳසරු ප්‍රශ්න අඩුයි
23 June 2025 | ශ්‍රියානි විජේසිංහ
මඳසරුභාවය ඇතිවීමට හේතුවන කරුණු 3ක් මේවන විට හඳුනාගෙන ඇත. කායික, මානසික හා පාරිසරික හේතු වශයෙන් එම කරුණු තුන හැඳින්විය හැකිය. සමහර විට මෙම කාරණා තුනම හෝ දෙකක් හෝ එකක් නිසා මඳසරුභාවය ඇතිවෙයි.
මඳසරු භාවයට හේතු
පුරුෂයෙක් නම් ඔහුගේ ශුක්‍ර තරලයේ තිබෙන ඝනත්වය සහ ප්‍රමාණත්වයේ අඩුබව
පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම, වායුගෝල දූෂණය වැඩිවීම වැනි පාරිසරික හේතු
ජාන වෙනස් කළ ආහාර ගැනීම, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම හේතුවෙන් කාන්තාවන්ගේ හෝර්මෝන ක්‍රියාවලිය වෙනස් වීම
හෝර්මෝන ගැටලු හේතුවෙන් ගර්භාෂයේ හටගන්නා අර්බුද (ගෙඩි)
අධික තරබාරුව
අඩු වයසේදී බෝ නොවන රෝගයන්ට ගොදුරු වීම
උපතින්ම ඇතිවන ගර්භාෂයේ විකෘතිතා, පැලෝපීය නාළවල විකෘතිතා, ශුක්‍රදෝෂ, ඩිම්බ නාළ ශුක්‍ර නාළ අවහිර වීම්
ආයුර්වේද ප්‍රතිකාර තිබේද?
ආයුර්වේද ප්‍රතිකාර තුළින් කළ හැක්කේ උපතින්ම ශාරීරික විකෘතිතා නැති ප්‍රකෘති තත්ත්වයේ සිටින ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සරුභාවය දියුණු කර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර කිරීමයි.
ආයුර්වේද ප්‍රතිකාරයන් කිරීමේදී එම යුවළගේ ග්‍රහචර්යාවන්ගේ හැසිරීම හා උප්පත්ති දෝෂයන් මෙන්ම කේන්දර ගැළපීම් සොයා බැලීමටද එම ගැළපීම්වලට අනුව ඖෂධ තෝරා ගැනීම හා නියමිත කාල වේලාවන් හඳුනා ගැනීම විශේෂ වේ. බෞද්ධ ආගමට අනුව කෙනකුගේ කර්මයද දරුපල කෙරෙහි සෘජුව බලපෑම් ඇතිකරන තත්ත්වයක් බව විශ්වාස කෙරේ.
ප්‍රතිකාර
වාජීකරණ ඖෂධ හා ආහාරවලට දෙපළව යොමු කිරීම.
මෙහිදී විශේෂයෙන් සෙම හා වාතය කෝපකරවන ආහාර සහ ඖෂධ ලබා දීමක් නොකළ යුතුවා සේම යුවළගේ කේන්ද්‍රයට හා ග්‍රහ පිහිටීමට ගැළපෙන වාජිකරණ ආහාර සහ ඖෂධ ලබා දිය යුතුය.
වාජීකරණ ආහාර ලෙස වැල්පෙනෙළ, ඉරමුසු, හාතවාරියා අල කැඳ, ඉරමුසු, උඳු පිටි ආහාර, එළඟිතෙල්, එළකිරි, වඳුරුමෑ, මෑඇට, කව්පි, මුංඇට හඳුන්වා දිය හැකිය.
වාජීකරණ ඖෂධ අඛණ්ඩව ගැනීමේදී විවිධ අතුරු ආබාධයන් ඇතිවිය හැකිය. ඒ ගැන සැලකිලිමත් විය යුතුය. මේ අනුව මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවෙක් ලබා ගැනීම නොව වෙනත් අතුරු ආබාධයන්ට ප්‍රතිකාර ලබා ගැනීමය. කෙසේ නමුත් හොඳ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු තෝරා ගැනීමට ඔබ වගබලා ගැනීම වැදගත්ය.
උදාහරණයක් නම් මඳසරු භාවයට දෙන ඇතැම් ඔෟෂධවල මධුර පදාර්ථ වැඩිවීමෙන් කාන්තාවන්ට මේවා ටික කාලයක් ගැනීමෙන් පසුව දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානයක් පවතී.
එසේම පුරුෂයාගේ ශුක්‍ර ශක්තිය වැඩිදියුණු කිරීමට උඳු පිටි හා එළඟිතෙල් මිශ්‍රිත ඖෂධීය කොළ යොදා සකස් කරන විශේෂ කැඳ පානය කිරීමට දීමේදී එම කැඳ සැකසීමට යොදා ගන්නා ඖෂධීය කොළ එම පුරුෂයාගේ ජන්ම පත්‍රයට අනුව තෝරා ගැනීමද විශේෂ වේ.
මලබද්ධය ඇත්නම් එය අඩුකර ගත යුතුයි.
රක්තය පිරිසුදු කිරීම අනිවාර්යයි.
ආයුර්වේද ප්‍රතිකාර තුළදී කරන චිකිත්සාවන්වලදී සතියකට දින 3ක් නිශ්චිත වේලාවක් තුළ ගලායන වතුරේ බැස සිටීමද ලබාදෙන එක් ප්‍රතිකාර ක්‍රමයකි. මෙයට යුවළගේ කේන්ද්‍රයට අනුව වේලාවන් හා දිනයන් තීරණය කෙරේ.
දරුවන් බලාපොරොත්තු වන දෙපාර්ශ්වය අඳින ඇඳුම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. ශරීර උෂ්ණත්වය නිසි පරිදි නියාමනය කළ හැකි කපු යට ඇඳුම් භාවිත කිරීම ඉතාමත් වැදගත් වේ. තවද ඩෙනිම් වැනි තද ඇඳුම් ප්‍රජනන ඉන්ද්‍රියන් තදකර දවස පුරා නොසිටිය යුතුයි. මෙයින් වන්නේ වාතය එළියට පිට නොවී උර්ධවගතවී ප්‍රජනන අවයවයන් අවහිර වීමය.
මාසික ශුද්ධිය නිසි පරිදි නොවන්නේ නම් එය වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමු වී ක්‍රමවත්ව කර ගත යුතුයි.
නිවසේ වටපිටාව ඉතා සන්සුන් විය යුතුය. වටපිටාව දුක්ගැහැට නම්, කටෝර නම් දරුපල ප්‍රමාද විය හැකිය.
දරුවෙකු ලබා ගැනීමට නම් කාන්තාවගේ වයස අවුරුදු 35 නොඉක්මවිය යුතුයි.
මඳසරු භාවය නැතිකර
දරුවකු ලබා ගැනීමට කෙම් ක්‍රම
දේව පූජාවන්, බෝධි පූජාවන්, විවිධ ආගමික ඇදහිලි ක්‍රම, බලිතොවිල්, නූල් මැතිරීම, නූල් බැඳීම, බෝධි වන්දනාවන් සහ වෙහෙර වන්දනාවන් වැනි ආගමික හා සංස්කෘතික ඇදහිලි ක්‍රමයන් දෙදෙනාගේම කේන්ද්‍රයට අනුව දින වකවානු තෝරා නියමිත කාලයන් තුළ කළ හැකිය. මේ සියල්ලම ආයුර්වේද ප්‍රතිකාරයන් කරන අතර හිතේ විශ්වාසයෙන් හා භක්තියකින් කළ යුතුය.
ගලා යන පිරිසුදු වතුරක යුවළම බැස කිසියම් වෙලාවක් දක්වා සිටිය යුතුය. මෙය සතියකට දින තුනක් කළ යුතු කෙම් ප්‍රතිකර්මයකි. දෙපළගේ කේන්දරයට අනුව දින වකවානු හා කාලවේලාවන් තීරණය වේ.
කාන්තාව සමග එක්වන දිනයන්වලදී නැගෙනහිරට ගිය නුග මුලක් පිරිමියාගේ ඉණේ බැඳ ලිංගිකව එකතු වීමෙන් දරුපල ලබා ගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.
දෙපළගේ කේන්ද්‍රයට අනුව ඔවුන්ගේ ග්‍රහ පිහිටීමට අනුව ඖෂධීය කොළ තෝරා එය තම්බා දෙපළ ස්නානය කර අනතුරුව ලිංගිකව එක්වීම මගින් මඳසරු බව දුරුකර නීරෝගි දරු උපතක් ලබාගැනීමට හැකියාව ලැබේ.
ග්‍රහ චර්යාවට අනුව මතුරා සකස් කළ යන්ත්‍රයක් කොට්ටය යට තබා නියමිත දිනයන්වලදි ලිංගිකව එක්වීමද මඳසරු භාවය දුරුකිරීමට කළ හැකි තවත් කෙම් ක්‍රමයකි.
කාන්තාවට තිබෙන්නා වූ විවිධ දෝෂයන් මඟහැර ගැනීමට (විශේෂයෙන් තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ) වතුර මතුරා පානයට දීමද පුරාණ කෙමකි.
ආයුර්වේද වෛද්‍ය
පාලිත ශ්‍රී ගීගනආරච්චි