brand logo
logo
ඉරානය  ඇමරිකානු පිටුවහල් ආර්ථීකයේ වහලෙකු වේද?

ඉරානය ඇමරිකානු පිටුවහල් ආර්ථීකයේ වහලෙකු වේද?

29 August 2026 | හර්ෂණී දිසානායක

ඇමරිකාව ඉරානයට එරෙහිව මාස හයකට ආසන්න කාලයක් පුරා අවි ආයුධවලින් ඇරඹූ යුද්ධයෙන් තමන්ට ඵලක් නොවූ බැවින් දැන් ඔවුන්ට අවැසිව ඇත්තේ කඩින් කඩ හුස්ම ගන්නා ඉරාන ආර්ථිකයේ ස්වරාලය කඩා බිඳ දැමීමටය. ඒ වෙනුවෙන් 'ආර්ථිකයේ ඩී දවස' (D-Day) සහ 'පිටුවහල් කිරීමේ ආර්ථික මෙහෙයුම' (Operation Economic Outcast) යන සම්බාධක ක්‍රමවේද දෙකම අනුගමනය කරන බව ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.


'ඩී දවස' යන වචනය ඇමරිකානු දේශපාලන වාග් කෝෂයට මුලින්ම එකතු වන්නේ මීට අවුරුදු අසූ දෙකකට පෙරාතුවය. ඒ දෙවැනි ලෝක යුද්ධ සමයේදීය. එකල ජර්මනියේ නාසි හමුදාවට යටත්ව සිටි ප්‍රංශය බේරා ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් එකතුව 'ඩී දවස' යන මෙහෙයුම ඇරඹීය. 'ඩී දවස' යන්නෙහි අදහස සතුරන් හුදෙකලා කර පහරදීම යන්නයි.

පසු කලෙක 'ඩී දවස' නොර්මන්ඩි ගොඩබෑම යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්විය. ඊට හේතුව දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර රාජ්‍යයන්ට අයත් හමුදාවන් බුරුතු පිටින් ප්‍රංශයේ නොර්මන්ඩි වෙරළ තීරයට ගොඩබසිනු ලැබූ දවස සිහිපත් කිරීමටය.

එවැනි ඉතිහාස කතාවක් ඇති ඩී දවස ඉරානයට එරෙහිව භාවිතයට ගත්තේ ඉරාන වෙරළට බුරුතු පිටින් ඇමරිකානු හමුදාවක් ගොඩ බැස්සවීමේ අදහසකින් නොව ඉරානයට බුරුතු පිටින් ලැබෙන ආර්ථික හයිය කඩා බිඳ දමා හුදෙකලා කිරීමේ අදහසින්ය.

මෙතෙක් කාලයක් ගෝලීය ආර්ථික ව්‍යවහාරයේ පැවැතියේ 'ආර්ථිකයට පිටිවහලක් වීම' යන වචනය පමණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී බිඳ වැටී යාමත් සමග ගෝලීය ණය දෙන්නෝ ලංකාවේ 'ආර්ථිකයට පිටිවහලක් වීම' යන වචනය හරි හරියට භාවිතයට ගත්හ. කෙසේවෙතත්, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික පිටිවහල යන වචනය වෙනුවට 'ආර්ථික පිටුවහල් කිරීමක්' ලෙස භාවිතයට ගන්නේ ඇමරිකාවයි. ඒ ඉරානය මෙල්ල කිරීමේ තවත් එක් අවියක් ලෙසය.

රටක් ඉලක්ක කරගනිමින් ආර්ථික සම්බාධක පනවන්නේ ගෝලීය වශයෙන් ඒ රට ආර්ථිකමය හුදෙකලාභාවයකට පත් කිරීමටය. ඇමරිකාව මීට පෙරාතුව රුසියාව, උතුරු කොරියාව, කියුබාව සහ සිරියාව යන රාජ්‍ය ඉලක්ක කරමින්ද ආර්ථික සම්බාධක පනවනු ලැබීය. ඒත් ඒ ආර්ථික සම්බාධකයන්ගෙන් රිංගා ගොස් විදේශ ආයෝජන හෝ විදේශ වෙළෙඳාමේ නිරත වීමට ඒ රටවලට තහංචියක් නොවිය.

මෙදා ඇමරිකාව ඉරානයට එරෙහිව භාවිතයට ගත්තේ ඒ හිඩැස් ඇති ආර්ථික සම්බාධකය නොවේ. ඊට හේතුව මේ මොහොතේ ඇමරිකාවට අවැසිව ඇත්තේ ඉරානය ආර්ථිකමය වශයෙන් හුදෙකලා කර ඔවුන් ඉදිරියේ දණ නවන අයුරු ලෝකයාට පෙන්වීමටය.

ඉරානයේ ප්‍රධානම මූල්‍යමය සහ ආර්ථිකමය හවුල්කරුවා වන චීනය ඇමරිකාවේ මේ ආර්ථික සම්බාධකය කෙසේ පිළිගනීවිදැයි යන සැකය මතු වූවත් ඔවුන්ද ඇමරිකාවේ මේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නොසතුට පළ කළා හැරෙන්නට ඊට විරුද්ධව කටයුතු කරන බවට වචනයක්වත් කීවේ නැත. කොටින්ම ඉරාන ආර්ථිකයේ ජීවනාලිය වන තෙල් සම්පත බැඳී ඇත්තේ චීනය සමගය. ඉරාන තෙල් ආර්ථිකයෙන් සියයට අනූවක්ම මිලදී ගනු ලබන්නේ චීනය විසිනි.

ඇමරිකාව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ඇරැඹූ සමයේදී ඉරාන පාර්ශ්වය ගනිමින් ඔවුන්ගෙන් තෙල් ආනයනය කිරීමට චීනය පැකිළුණේ නැත. ඒත් යුද මෙහෙයුම ආර්ථික යුද්ධයක් දක්වා වර්ධනය වන විට චීනයත් ඉරානයෙන් මිලදී ගන්නා තෙල් සංචිත ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කළේය. ඊට හේතුව වූයේ ඇමරිකාව හා ආර්ථික යුද්ධයකට පැටලීම මේ මොහොතේ චීනයට අවාසිදායක නිසාය. ඒ, චීනයේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් පහළ යමින් සිටින මොහොතක් උද්ගත වී තිබීම නිසාය. ඊට බලපෑ ප්‍රධානම හේතුව වන්නේත් බොරතෙල් මිල ඉහළ යාමයි.

බොරතෙල් ආශ්‍රිත කර්මාන්තයෙහි නිරතවන චීනයට ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට හැකි වුවත් එය ගෙවන්නට වන්නේ ලෝක බොරතෙල් බැරලයක මිල සනිටුහන් වන අගයකටය. එහෙයින් වැඩි මිලට තෙල් මිලදී ගෙන අඩු මුදලකට කාර්මික නිෂ්පාදන සැපයීමේ කටයුත්තේ නිරත වීමට තවදුරටත් චීන සමාගම්වලට නොහැකිය. එනිසා ඔවුන් උත්සාහ ගන්නේ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන්ට වඩා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආශ්‍රිත වෙළෙඳපොළ හා පවත්වන ගනුදෙනු වැඩිකිරීමටය. එසේ ගනුදෙනු කිරීමට නම් ඇමරිකාවේ සහායත් නැතිවම බැරිය. ඊට හේතුව චීනයේ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත චිප් වැඩි වශයෙන් මිලදී ගැනීමට සහ ඒ චිපයන් නිර්මාණය කිරීමට ඇවැසි තාක්ෂණික සහාය ඇත්තේ ඇමරිකාවේ නිසාය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් චීනයට මැයි දහතුන් වැනිදා පැමිණීමත් සමග චීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණික වෙළෙඳපොළට අවැසිව තිබූ තාක්ෂණික චිපයක් ඇමරිකාව විසින් චීනයට දීමට කැමැත්ත පළ කිරීමත් සමග චීන කෘත්‍රිම බුද්ධි වෙළෙඳපොළ සීග්‍රයෙන් ලාභ ඉපැයීය. එහි ප්‍රතිඵලය වන්නේ අද වන විට චීන ආර්ථිකයට කෘත්‍රිම බුද්ධි වෙළෙඳපොළෙන් ලැබෙන ආදායම සියයට දහ අටයි දශම පහකින් වර්ධනය වී තිබීමය. මෙවැනි ආර්ථික වාසි ලබමින් හැකිළී ගිය ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වෙර දරන චීනයට ඉරානයේ දුක් ගැනවිල්ල තවදුරටත් අසන්නට හැකි වේද යන ප්‍රශ්නය මතුවන්නේ එබැවිනි.

ඉරානයේ දෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයයි. ඒ හවුල්කාරීත්වය ගැන ඉලක්කම්වලින් කියන්නේ නම් ආර්ථික සංකීර්ණතා නිරීක්ෂණාගාරයේ (OEC) නවතම වෙළෙඳ දත්තවලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඉරානය අතර පසුගිය වසරේදී කරනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන හයකටත් වඩා වැඩිය.

ඒ අතරේ ඉරානය සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න මුදලක් වැය කරමින් එක්සත් අරාබියෙන් ඔවුන්ට අවැසි පරිගණක, දුම්කොළ සහ ධාන්‍ය වර්ග ආනයනය කරනු ඇත. මේ ආනයන දෙස බැලීමේදී, පසුගිය වසරේදී එක්සත් අරාබියෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් වියදම් කරමින් ඉරානය ආනයනය කළ වෙළෙඳ භාණ්ඩයක් ද ඇත්තේය. ඒ වෙළෙඳ භාණ්ඩය චීස්, හැම් හෝ ඔටු කිරි නොව ජංගම දුරකථන ය.

මේ පාරිභෝගික භාණ්ඩවලට අමතරව ඉරානය එක්සත් අරාබියෙන් පිරිපහදු කළ පෙට්‍රල් ටොන් මිලියන දහයකට ආසන්න ප්‍රමාණයකුත් මිලදී ගනී. ඒ ඉරානයේ පරිභෝජනයට ගන්නා පිරිපහදු කළ තෙල් හිඟය පියවා ගැනීමටය. ඒත් ඇමරිකාව - ඉරාන යුද්ධයේදී ඇමරිකාවේ සම්පත්වලට හානි කරනවා යැයි කියමින් ඉරානය සිය හොඳම වෙළෙඳ හවුල්කරුවා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මිසයිල ප්‍රහාර එල්ල කළේය.

මේ හේතුවෙන් ඉරානය සහ එක්සත් අරාබිය අතර ඇති හොඳ හිත පලුදු වී ගියේය. එහි ප්‍රතිඵලය වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමරිකාව පැත්තේ සිට ගැනීමය. එනම්, ඇමරිකාවේ ආර්ථික සම්බාධකයන්ට සහාය පළකරමින් ඉරානය හා පැවැති වෙළෙඳ ගනුදෙනුවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තිත තැබීමය.

මේ රාජ්‍ය ද්විත්වයට අමතරව ඉරානය සමග හොඳ වෙළෙඳ ගනුදෙනුවක් පවත්වාගෙන ගිය අසල්වාසීන් වන්නේ තුර්කියයි. ඉරානයේ මුළු ආනයනවලින් සියයට දහයයි දශම පහක් රැඳී පැවතුණේ තුර්කි රාජ්‍යයෙන් ලැබෙන ආනයන මතය. කොටින්ම ඉරානයට ඇවැසි කාර්මික සහ යාන්ත්‍රික කොටස්, රසායනික හා කෘෂිකාර්මික නිෂ්පාදන ආදී භාණ්ඩ ගණනාවක් ඉරානයට ලැබෙන්නේ ඔවුන් හා දේශසීමා බෙදා ගන්නා තුර්කි රාජ්‍යයෙනි. මේ වෙළෙඳ ගනුදෙනු සීමා කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවන්නේ ඉරානය හා තුර්කිය යනු චීනය වගේ දුරස්ථව සිටින රාජ්‍යයක් නොවන නිසාය.

ඒත් තුර්කිය මෑත කාලයේදී චීන ආයෝජන මගහැර ඇමරිකානු ආයෝජන වෙත වැඩි නැඹුරුවක් දක්වන්නට පටන්ගෙන තිබිණි. එහි ප්‍රතිඵලයක් වන්නේ රුසියාව තැති ගන්වමින් ඇමරිකාවෙන් තුර්කියට හිමිවූ ප්‍රහාරක ජෙට් යානා තොගයයි. එපමණක් නොව, ඉරානයේ තර්ජන ගර්ජන හමුවේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියේ අන්කාරා නගරයේ පැවැති ආර්ථික සමුළුවට සහභාගී වීම ම තුර්කිය ඇමරිකාවට දක්වන පක්ෂපාතීත්වයට දිය හැකි හොඳම නිදසුනයි.

ඉරානයේ ආර්ථික හවුල්කරුවන් ඇමරිකාව වෙත ළංකර ගනිමින් ඉරාන ආර්ථිකය බිඳ වට්ටන්නට යන ආර්ථික යුද්ධයේ තවත් එක් පියවරක් පසුගිය දිනෙක එළිදැක්විය. ඒ ඉරානයට වත්කම් ලැබෙන මාර්ග වන ඩිජිටල් වත්කම්, තාක්ෂණය, රත්රන්, ගුවන් සේවා සහ නැව් ගත කිරීම යන අංශ පහකට අදාළව සම්බාධක පැනවීමටය. මෙම අංශ පහට අදාළව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය, සිංගප්පූරුව සහ යුරෝපය ආදී රාජ්‍යයන්හි පෞද්ගලික සමාගම් කිහිපයකටත් පුද්ගලයන් සහ නැව් හැටකට ආසන්න සංඛ්‍යාවකටත් ඇමරිකානු භාණ්ඩාගාරය සම්බාධක පැනවීය. එම සම්බාධකය පනවමින් ඇමරිකාව එම පෞද්ගලික ආයතනවලට නිවේදනය කළේ ඉරානයට මූල්‍යමය සහායක් දෙන්නට ගියහොත් ඔවුන්ට ඇමරිකාවෙන් ලැබෙන මූල්‍යමය සහායත් නැති වී යන බවයි.

මෙවැනි සම්බාධක පෞද්ගලික අංශය ඉලක්ක කරගනිමින් පැනවීමට ඇමරිකාව සතුව ඇති එකම අවිය ඇමරිකානු ඩොලර් ඒකකයයි. ඒ නිසාම ඇමරිකාව සැලකෙන්නේ ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ කොඳු නාරටිය ලෙසයි. ඇමරිකානු මුදල් ඒකකය වන ඇමරිකානු ඩොලර් යනු ගෝලීය මූල්‍ය ගනුදෙනු හසුරුවන ප්‍රධානම මුදල් ඒකකයයි. එහි අගය ඉහළ පහළ යෑම ලෝක ප්‍රජාවටත් බෙහෙවින් බලපානු ලබන්නකි.

අනෙක් අතට ඇමරිකාවට ලෝක බැංකු ක්ෂේත්‍රයේ ඇත්තේ ඉහළම තැනකි. රටවල් බංකොලොත් වූ විට ඒවාට මුදල් පොම්ප කරනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (World Bank) සහ ජාත්‍යන්තර පියවීම් බැංකුව (BIS) වැනි ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලටත් මුදල් පොම්ප කරනු ලබන්නේ ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව හෙවත් මහ බැංකුව මගිනි.

ගෝලීය මූල්‍ය පද්ධතිය නිරීක්ෂණය කරමින් එහි ස්ථායිතාව සුරැකීම සඳහා නිර්දේශ සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනය වන්නේ මූල්‍ය ස්ථායිතා මණ්ඩලය (Financial Stability Board - FSB) යි. මෙය ඇරඹීමට පෙරමුණ ගෙන ඇත්තෙත් ඇමරිකාවයි. අද වන විට මෙම මණ්ඩලයේ සාමාජිකයන් සහ ගෝලීය මහා බැංකු ප්‍රධානීන් හැටකට වැඩි සංඛ්‍යාවක් එහි සාමාජිකයන් වුවත් තවමත් එය මෙහෙයවීමේ බලය ඇත්තේ ඇමරිකාව සතුවය.

ගෝලීය බැංකු ක්ෂේත්‍රයේ පොලී අනුපාත ඉහළ ගොස් මූල්‍යමය ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් විට ඒ ඒ බැංකුවලට මූල්‍යමය හයියක් වී අඩු පොලියක් යටතේ මූල්‍යමය සහනාධාරයක් දෙන්නට හැකියාව ඇත්තෙත් ඩොලර් සංචිත සහ රන් සංචිත කුට්ටි පිටින් ඇති ඇමරිකානු මහ බැංකුවටය. මේ ආකාරයට ලෝකයේ බැංකු පද්ධතීන් ඇමරිකාව හා බද්ධ වී ඇති විට තෙල් ඇති ඉරානය ද මූල්‍යමය බලය ඇති ඇමරිකාව ද යන තේරීම සිදුකිරීමට සම්බාධක පැනවූ රටවලටත් සිදුවේ. මේ ඇමරිකාව ලෝක ආර්ථිකය අල්ලේ නටවන අයුරුය.

ඇමරිකාවේ මාරාන්තික ආර්ථික සම්බාධකය හමුවේ ඉරානයට තවදුරටත් යුද්ධ කිරීමට හැකිදැයි යන ප්‍රශ්නය මතු වන්නේ එරට මුදල් ඒකකයේ කඩා වැටීම ගැන අධ්‍යයනය කිරීමේදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩා වැටුණු යුගයේ දිනෙන් දින ප්‍රවෘත්ති විකාශයන්හි රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යෑම වාර්තා කළේය. එහිදී ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට ලංකා රුපියල් තුන්සිය හැට පහකට වඩා වැඩි මුදලකුත් ගෙවන්නට සිදුවිය. ඩොලරයේ අගය වැඩිවීම නිසා කිරිපිටි පැකට් එකේ සිට සබන් කැටේ දක්වා මිල ගණන් ඉහළ ගියේ දෙතුන් ගුණයකිනි. මේ කාලය සිහිපත් කරගෙන ඉරානයේ මුදලේ අගය පහත වැටීම දෙස බැලීමේදී ඔවුන්ට අද සිදුව ඇත්තේ ඩොලර් එකක් මිලදී ගැනීමට ලංකාවට වාගේ රුපියල් තුන්සිය පනහක් ගෙවීමට නොව රියාල් මිලියන දෙකකට වැඩි අගයක් ගෙවීමටය.

මේ අගය කී විට කාගේත් ඇස් නළලට යන්නේ ඩොලර් එකක් මිලදී ගන්නට ඉරාන රියාල් මිලියන දෙකක් වැය කිරීමට ඉරානයට හැකිද කියාය. මෙය ඉරාන ආර්ථික කඩා වැටීමට පෙන්වා දිය හැකි හොඳම නිදසුනයි.

අද වන විට ඉරානයේ උද්ධමනය සියයට හැට අටයි දශම නවයක් දක්වා ළඟාවෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළ කළේය. එහි දරුණුම තත්ත්වය අද ඉරාන වැසියෝ අත්විඳිමින් සිටිති. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පාරිභෝගික වෙළෙඳපොළේ මිල ගණන් සියයට අසූ හතයි දශම නවයකින් ඉහළ ගොස් තිබිණි. ඒ අතරේ ආහාරපානවල මිල ගණන් ඉහළ ගොස් තිබුණේ දෙතුන් ගුණයකින් නොව විසිගුණයකිනි.

ඉරානයේ ටෙහෙරාන අගනුවරට උතුරින් පිහිටි ටජ්රිෂ් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ වාසය කරන්නේ ධන කුවේරයන්ය. ඔවුන් අත දිගහැර කෑමට බීම‍ට වියදම් කරන හෙයින් මේ චතුරස්‍රය අවට වෙළෙඳාම් කරන තොග වෙළෙන්දන්ට වෙළෙඳාම්වලින් අඩුවක් නොවීය. ඒත් මෑත මාස කිහිපයක සිට මේ ධන කුවේරයන් තොග වෙළෙන්දන් වෙත පැමිණ භාණ්ඩවල මිල ගණන් කේවල් කරන මට්ටමට පැමිණ ඇති බව අල් ජසීරා රූපවාහිනිය වාර්තා කළේය.

එපමණක් නොව ඉරානයේ වෙළෙන්දන් සිය කඩ සාප්පු උදෑසන විවෘත කරන්නේ එදිනට ලැබෙන ලාභය ගැන සිතමින් නොව ඊයේ විකුණූ භාණ්ඩය අද විකුණන්නේ කුමන ගාණකට දැයි සිතමිනි. ඉරානයේ භාණ්ඩ වෙළෙඳපොළේ මිල ගණන් වෙනස් වන්නේ මාසයෙන් මාසයට නොව දිනෙන් දිනටය. පැයෙන් පැයටය. එහෙයින් වෙළෙන්දෝ කඩ සාප්පුවේ මිල දර්ශකය පැයෙන් පැයට වෙනස් කරති.

පැයෙන් පැයට වෙනස්වන ඉරාන වෙළෙඳපොළ මිල නිසා ගෙදර දොරේ බඩු ගන්නට මාස ගණන් බලා නොසිට අතට මුදල් ලැබෙන මොහොතේම ගොස් ඒවා මිලදී ගන්නටත් අද ඉරාන වැසියෝ පෙලඹී සිටිති. වෙනදා පැය අටේ රාජකාරි මුරයට වැඩට ගිය බොහෝ දෙනෙක් අද පැය අටේ රාජකාරියට අමතරව පැය ගණනට වැටුප් ලැබෙන තවත් රැකියා දෙක තුනකම නිරත වෙති. එසේ පැයට ලැබෙන වැටුප ඔවුන් තකහනියේම රැගෙන ගොස් වියදම් කරන්නේ හාල් හෝ රතු මස් කෑල්ලක් මිලදී ගන්නටය.

ඉරානයේ ආර්ථික අහේනිය කොතෙක් ද යත් එරටේ මිල අධිකම භාණ්ඩය වී ඇත්තේ එදිනෙදා පරිභෝජනයට ගත් හරක් මස් කෑල්ලක්ය. හරක් මස් රාත්තලක මිල ඇමරිකානු ඩොලර් හතරකට ආසන්නය. එය ඉරාන රියාල් ඒකකයෙන් බැලූ විට රියාල් මිලියන හයකටත් වඩා වැඩිය.

එපමණක් නොව, අද වන විට ඉරාන වැසියන්ට සිය මූලික ආහාර අවශ්‍යතාව ලෙස සහල්, කිරි, බිත්තර සහ පාන් මිලදී ගැනීමට සතියකට රියාල් මිලියන අසූ හයක් වැයවන බව පැවසේ.

රජයේ සහනාධාර මත පෙට්‍රල් අඩු මිල ගණන් යටතේ දුන්නද අද වනවිට ඉරානය පුරා තෙල් හිඟයක් පවතී. ලෝකයටම තෙල් සපයන්නට තරම් තෙල් කඳක් ඇති ඉරානයට ඔවුන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නට තෙල් හිඟවීම පුදුමයට කරුණකි. නමුත් ඊට හේතුව වන්නේ ඉරානයට බොරතෙල් ටොන් ගණන් තිබුණත් එයින් පිරිපහදුකර දිනකට නිකුත් කර හැකි වන්නේ පෙට්‍රල් ලීටර් මිලියන එකසිය තිහක් පමණි.

සමස්ත ඉරාන තෙල් අවශ්‍යතාව දිනකට ලීටර් මිලියන එකසිය තිස් හතක් වන බැවින් එහි ඉතිරි හිඟය පුරවා ගත්තේ එක්සත් අරාබියෙන් ලැබෙනා පෙට්‍රල් තොගයෙනි. ඒත් අද ඇමරිකාවේ සම්බාධක හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඉරානයට ආර්ථික සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් එය සෘජුව බලපාන්නේ ඉරාන ජනතාවගේ තෙල් පරිභෝජනය වෙතය.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ ඉරානයේ තෙල් අර්බුදය කෙතරම් උග්‍රව ඇතිද කියන්නේ නම් එරට බොහෝ ඉන්ධන පිරවුම්හල් තෙල් නොමැතිව දින නියමයක් නැතිව වසා දමා ඇත්තේය. විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල්වලින්ද තෙල් ගැනීමට ඇත්තේ දිගු පෝලිම්ය.

මේ නොකියා කියන්නේ ඉරානයේ විනාශය අත ළඟම බව නොවේද..


 

More News..