රනිල් වික්රමසිංහයන්ට මනමේ මතක් වී
03 November 2026
රනිල් වික්රමසිංහයන්ට මනමේ මතක් වී
03 November 2026
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය ප්‍රථම වරට වේදිකාගත වූයේ 1956 නොවැම්බර් 03 දාය. ඒ, හරියටම අදින් වසර හැත්තෑවකට පෙර අද වැනි ම වූ දිනයකි. අද (03) ට “මනමේ”ට 70 වසරක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකේය දේශපාලනයේ කඩු ශිල්ප, දුනු ශිල්ප මැනවින් ප්‍රගුණ කළ මේ ලිපියේ රචකයා බටහිර කලාව හා සාහිත්‍ය පමණක් නොව දේශීය කලාව හා සාහිත්‍ය අතැඹුලක් සේ ස්පර්ශ කළ අයෙකි. එපමණක් නොව ඒවාට පිටදුන් ස්වර්ණමය අතීතයක් හිමි පවුලක සාමාජිකයෙකි. ඒ සාමාජිකයා වන ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු මනමේ නාට්‍යය, එදා එනම් 1956 නොවැම්බර් 03දා වේදිකාගත කෙරුණු ප්‍රථම දර්ශනය නැරඹූ අයෙකි.
එක්දහස් නවසිය පනස් හයේ නොවැම්බර් තුන්වැනිදා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ තිරය විවර වූයේ, හුදෙක් තවත් එක් වේදිකා නාට්‍යයක් සඳහාම නොවේ. සිංහල නාට්‍ය වංශ කතාවේ ස්වර්ණමය උදාවද සනිටුහන් කරන්නටය. ඒ, හෙළ නාට්‍ය කලාවේ මහා ගාන්ධර්වයාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, මනමේ නාටකයෙන් ශ්‍රී ලාංකේය රසික හදවත් සෞන්දර්යයෙන් මුසපත් කළ දිනයද එදින වූ බැවිනි.
හෙළ සංස්කෘතිය අවදි කෙරූ කලා උල්පත වන “මනමේ” නාටකය, හැත්තෑ වසරක සිය අභිමානවත් ගමන සනිටුහන් කරන අද (03) දිනයේ මා මේ සටහන තබන්නේ, හරියටම අදින් වසර 70ට පෙර දිනෙක, මනමේ නාටකය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ ප්‍රථම වරට දිගහැරුණු ඒ අසිරිමත් මොහොත රසවිඳි සජීවී සාක්ෂිකරුවකු ලෙසිනි.
ඒ අමරණීය දින මගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ, මා, මගේ මව සහ පියාත් ලයනල් වෙන්ඩ්ට් රඟහලට කැටුව යනතෙක් මේ එතරම් අසිරිමත් මොහොතකැයි මා දැන සිටියේ නැත. මා දැන සිටියේ එදින අප ගියේ, පියා සමග ලේක් හවුස් ආයතනයේ කටයුතු කළ සමකාලීනයකු වූ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයක් බැලීමට යනවා කියා පමණි.සරච්චන්ද්‍රයන් අපට මේ ආරාධනාව කර තිබුණේ, නාට්‍යය නැරඹීමට අවැසි ප්‍රවේශ පත්‍ර ද ලබා දෙමිනි.
මනමේ නාටකය නරඹන තුරුම එහි කතාව කුමක්ද කියා හෝ දැන සිටියේ නැත. කතාව කුමක්දැයි මා විමසුවේ මාගේ මෑණියන්ගෙනි. ඇය පැවසූයේ වැදි රජවරුන් පවා සිටින මේ කතාව පැරණි කතාවක් බවය. මනමේ නාටකය නැරඹීමට පෙර මා නරඹා තිබුණේ සිරිසඟබෝ නාට්‍යයයි. ඒ කොළඹ වයි.එම්.බී.ඒ. ශාලාවෙනි.
අප ලයනල් වෙන්ඩ්ට් ශාලාවට යද්දී ඉන් අඩක්වත් පිරෙන්නට ප්‍රේක්ෂකයන් සිටියේ නැත. එහෙත් නාට්‍යය ඇරඹුණු වග කියාපාමින් තිරය විවර වෙද්දී ප්‍රේක්ෂකාගාරය වෙළා ගත් නිශ්ශබ්දතාවයේ අසිරිය තවමත් මා මනසේ රැඳී තිබෙන්නේ ඒ රසය මේ මොහොතේත් රසිවිඳිය හැකි පරිදිය. පොතේ ගුරාගේ පළමු ගැයුම සමඟින් මද්දලයේ හඬ අවදි වෙද්දී, ප්‍රේක්ෂකාගාරය තුළ සිටි රසිකයා හුදෙක් නාට්‍යයක් නරඹන්නකු පමණක් නොවීය. ඔහු සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණමය උදාව සිදුවන මොහොතේ සජීවි කොටස්කරුවකු බවට පත්ව සිටියේය. වේදිකාවෙන් ගලා ආ, ඒ අභිමානවත් හඬ...... “ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ....” ගී ඛණ්ඩය, ප්‍රේක්ෂක සිත් සතන් නැවුම් සාහිත්‍යමය ලෝකයකට කැඳවාගෙන යන්නට සමත් වූවාට සැක නැත.
මනමේ නාටකය යනු ජාතක කතාවක් වේදිකාගත කිරීමක් පමණක් නොවේය. එය දේශීය කලා උරුමය තුළ සැඟවී තිබූ රංගන විභවයන් නව ඇසකින් හඳුනාගත් නිර්මාණාත්මක විප්ලවයකි. සරච්චන්ද්‍රයෝ තම නිර්මාණාත්මක ඇස යොමු කළේ මෙරට ජන නාට්‍ය සම්ප්රදාය වෙතය. නාඩගම්, කෝලම් සහ ගැමි නාට්‍ය සම්ප්රදායන්හි සෞන්දර්යාත්මක අංග උකහා ගනිමින් ඒවා නවීන භාෂාවක් බවට පරිවර්තනය කිරීමට ඔහු සමත් විය.
ගායනය, වාදනය, නර්තනය, කාව්‍යමය දෙබස් සහ රංගනය එකිනෙක වෙන් කළ නොහැකි අයුරින් මුසු වූ මනමේ, සිංහල වේදිකාවට අලුත් අනන්‍යතාවක් හඳුන්වා දුන්නේය. එය හුදෙක් නාට්‍යයක් පමණක් නොවී, දේශීය සංස්කෘතියේ රිද්මය වේදිකාව මත නැවත පණගැන්වුණු කලාත්මක අත්හදා බැලීමක් වූයේ එබැවිනි.
මනමේ නාටකයේ පළමු මනමේ කුමරිය වුණේ ට්‍රිලීෂියා අබේකෝන්ය. මනමේ කුමරු ලෙස බෙනඩික් සිරිමාන්නය. එඩ්මන්ඩ් ජයසිංහ වැදි රජුට පණ පෙවූ අතර පොතේ ගුරු ලෙස ශාමෙන් ජයසිංහත්, වැදි දෙටු ලෙස ලයනල් ප්‍රනාන්දුත් රංගනයෙන් දායක වූහ.
ඔවුන් සියලු දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝය. ඔවුහු එකල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද ඔවුන් එතරම් සෞන්දර්යාත්මකව නාට්‍යමය භාෂාව හසුරුවමින් මනමේ නාට්‍යය රඟ දැක්වීමම, එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය අභියෝගය මනාව ජයගත් බව කියාපාන්නකි. මනමේ වේදිකාගත කෙරුණු ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවද එතෙක් වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍ය රඟ දක්වන රංග ශාලාවක් ලෙසිනි. එවැනි රංග ශාලාවක මනමේ වේදිකාගත වීමද තවත් සුවිශේෂී මතක සටහනකි.
ආරම්භයේදී අඩක් හෝ නොපිරුණු ප්‍රේක්ෂකාගාරය පසුකාලීනව පිරී ඉතිරී ගියේ මනමේ, මෙරට නාට්‍ය වංශ කතාව අලුතින් ලියන්නට සමත් වුණු බව මොනවට පසක් කරලමිනි.
මනමේ නරඹා මාසයක් ගත වන්නටත් පෙර චිත්‍රපටයක් බලන්න යන්නට සූදානම් වන ලෙස පැවසූයේ අපව පුදුමයට පත්කරලමිනි. ඒ, සාමාන්‍යෙයන් මෙතෙක් අප නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නරඹා තිබුණේ, වසරකට වතාවක් හෝ දෙවතාවක් පමණක් වන නිසාය.
මෙහි විශේෂත්වය කුමක් දැයි අප මවගෙන් විමසූයේ එනිසාය. මාගේ නැන්දණිය වන අයිරාංගනී සේරසිංහයන් එහි රංගනයෙන් දායක වන බව ඇය පැවසූයේ එවිටය. අප අයිරාංගනී සේරසිංහ නැන්දණියව එකල ආමන්ත්‍රණය කළේ “චණ්ඩි නැන්දා” යන ආදරණීය ආමන්ත්රණයෙනි. එදා රීගල් ශාලාවේ පළමු වරට තිරගත කෙරුණු, මෙරට සිංහල චිත්‍රපට වංශකතාවේ මුල්ම එළිමහන් චිත්‍රපටය ලෙසින් ඉතිහාසගත වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ “රේඛාව” චිත්‍රපටයේද පළමු රසිකයකු වන්නට මට අවස්ථාව ලැබුණේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්, ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ වැඩ කටයුතු කර ලැබූ ආභාසය ඇතිව, මේ චිත්‍රපටය නිර්මාණය කර තිබිණි.
මේ සියල්ල බිහි වෙන්නේ, 1952 කාලයේදී එවක සිටි ආණ්ඩුකාර සෝල්බරි සාමි යටතේ බිහිවුණු කලා මණ්ඩලයට පින් සිදුවන්නටය. එය බිහි වෙන්නේම මෙරට කලා කෙත පෝෂණය කිරීමේ අභිලාෂයෙනි.
සිංහල සංස්කෘතික ආයතනය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. නාට්‍ය පුහුණු වීම් කටයුතු ඇතුළු කලා කටයුතු වෙනුවෙන් එය අරඹන්නට පුරෝගාමී වෙන්නේ මාගේ මෑණියන් වන නාලනී වික්‍රමසිංහ මැතිණියයි. අද කවුරුත් “සුදර්ශිය” ලෙස හඳුන්වන්නේ මේ ආයතනයයි. එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල සංස්කෘතික ආයතනය සමග සම්බන්ධ වී වැඩකටයුතු කළ අයෙකි. මමත්, මගේ සහෝදරයා මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් උඩරට, පහතරට නර්තන ආදී සියල්ල හැදෑරූයේ මේ සංස්කෘතික ආයතනයෙනි.
සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය කොළඹදී එළිදැක්වෙන්නේද මේ අවස්ථාවේය. මනමේ මෙන්ම සිංහබාහුද රසික හදවත් වැලඳ ගත්තේ එකලෙසිනි. “ගල් ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා” ගීතය අදටත් රසික හදවත් තුළ ජීවමානය. එහි සිංහයාගේ චරිතයට මාක් ඇන්තනි ප්‍රනාන්දු මෙන්ම ටෙරන්ස් සිල්වා වැනි අය රංගන දායකත්වය ලබාදී තිබුණි.
එතැනදී ඇති වූ සිද්ධියක්ද මේ මොහොතේ මාගේ මතකයට නැගෙයි. ඒ කාලේ තිබුණේ අද වගේ ද්‍රවිඩ පෙරමුණ නොවේ, දමිළ ජාතිකයන් නියෝජනය කළේ පෙඩරල් පක්ෂයෙනි.
ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානම නියෝජිතයා වුණේ ඩොක්ටර් නාගනාදන්ය. එතුමා අපේ පවුලේ හොඳ හිතවතෙක්ද විය. දවසක්දා මගේ මව සහ ඩොක්ටර් නාගනාදන් මහතා අතර මහා විවාදයක් හටගෙන තිබිණි. ඒ, ඩොක්ටර් නාගානන්දට සිංහබාහු නාට්‍ය බැලීමට අවශ්‍ය වීම නිසාය.
නමුත් ඒ වන විට එහි ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්ය. නමුත් එය පිළිගන්නට ඔහු සූදානම් නැත. වාදය හටගත්තේ එනිසාය. අවසානයේ මගේ මෑණියන්ට සිදුවුණේ වේදිකාව ළඟ අමතර ආසනයක් දමා ඔහුට නාට්‍යය නැරඹීමට අවස්ථාවට දෙන්නටය.
1970 වර්ෂයේදී පමණ මව තීරණය කළේ, මනමේ සහ සිංහබාහු තැටිගත කිරීමටය. මාගේ සහෝදර ශාන් වික්‍රමසිංහට ඒ කාලයේ තැටිගත කරන සමාගමක් තිබුණි. සරච්චන්ද්‍රයන් සමගද සාකච්ඡා කරමින් ඒ නාට්‍ය දෙක තැටිගත කරන්නට ඇය කටයුතු කළාය. විශේෂයෙන්ම මුද්‍රණය කරපු කවරවල දමා ඒවා බෙදා හැරීමට කටයුතු කෙරිණි. අද දැකිය හැකි වෙන්නේ එහි පිටපත් කිහිපයක් පමණය. ඒවායේ වටිනාකම මේ යැයි මැනිය නොහැකි තරම්ය. පිටපත් දෙකක් මා සතුවද තිබුණි. එහෙත් ඒ පිටපත් දෙකම මගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදී විනාශ විය.
කෙසේ වුවද හෙළ නාට්‍ය කලාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් එකල දායකත්වය දක්වන්නට අපට හැකිවුණු බව සිහිපත් කරන්නේ අභිමානයෙනි. කලා මණ්ඩලය එදා දුන් සහයෝගය නිසා ඊට පසුවද මෙය ඉදිරියට ගෙන යාමට අපට හැකි විය.
මෙරට ශෛලීගත නාට්‍ය කලාවේ අමරණීය සිතුවම වූ මනමේ නාටකය 70 වැනි සංවත්සරය සමරන අද (03) දිනයේ මාගේ එකම පැතුම වන්නේ හෙළ නාට්‍ය කලාව සදා අමරණීය වනු ඇතැයි යන්නය.

