Best News Website award
brand logo
logo
හිටපු නවසීලන්ත අගමැතිනි සහ අගමැති හරිනි අතර හමුවක්

හිටපු නවසීලන්ත අගමැතිනි සහ අගමැති හරිනි අතර හමුවක්

28 November 2026


සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පද්ධති පර්යේෂණ සන්ධානයේ සභාපතිනිය මෙන්ම නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන හෙලන් ක්ලාක් මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පැවැත්විය‍‍‍.


මෙම හමුවේදී රජයේ සංවර්ධන ප්‍රමුඛතා, දැනට ක්‍රියාත්මක ආයතනික යාන්ත්‍රණ සහ සංවර්ධන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුන්වා දෙන නව ක්‍රියාවලීන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.


ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාගැනීමේ අරමුණින් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ආයෝජන දිරිගැන්වීමට රජය දක්වන උනන්දුව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් සතු තාක්ෂණික විශේෂඥ දැනුම සහ සහාය රටේ සංවර්ධනයට යොදාගැනීමේ වැදගත්කමද ඇය පෙන්වා දී තිබේ.


එමෙන්ම, රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබෙනවා. දැනට පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට සිසුන් ඉගෙනුම් ක්‍රියාවලියේ මූලික කේන්ද්‍රස්ථානය බවට පත් කරන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශයක් හඳුන්වාදීමට රජය කැපවී සිටින බවද ඇය සඳහන් කර තිබේ.


ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

අනාගතයේදී මතුවිය හැකි අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ජාතියක් ලෙස ශක්තිමත්ව නැඟී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ආපදා තත්ත්වයන් හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කළ නොසැලෙන විශ්වාසය සහ ධෛර්යය පිළිබඳවද අදහස් දක්වා තිබේ.


මීට අමතරව, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහළ නැංවීම සහ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.


මෙම හමුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පද්ධති පර්යේෂණ සන්ධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය කුමානන් රාසනාතන් මහතා සහ එම සන්ධානයේ උප සභාපතිනිය මෙන්ම චිලී රාජ්‍යයේ හිටපු සමාජ සංවර්ධන හා පවුල් කටයුතු අමාත්‍යවරිය වන ආචාර්ය ජෙනට් වේගා මහත්මියද එක්ව සිටියා.


එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ වත්සලා අමරසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

 

More News..