නලින්දගේ මසුරන් වටිනා කතාව
22 July 2026
නලින්දගේ මසුරන් වටිනා කතාව
22 July 2026
නිතර දෙවේලේ අසන්නන් කුපිත කරවන සුලු කියුම් කියන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ පෙරේදා තවත් එබඳු කතාවක් කියා තිබේ. කවුරුන් කේන්ති ගත්තත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී කියා ඇත්තේ ඇත්තකි. ඒ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ රජයට දරා ගත හැකි මට්ටමට බැවින් ඒ නොසෑහෙන්නේ නම් රජයේ සේවයට නෑවිත් සිටින ලෙසය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඔහුගේ සුපුරුදු සාඩම්බර මුහුණින් නිර්භීතව කියා සිටියේ එතෙක් මෙතෙක් රට කරවන්නන් කිසිවකුත් ප්‍රසිද්ධියේ කියන්නට බයවූ කතාවකි. ඒ විශාල ඡන්ද බැංකුවක් වන රජයේ සේවකයන් අමනාප කරගැනීමට ඒ කවුරුත් මනාප නැති නිසාය. තැපැල් ඡන්ද වැඩියෙන් වැටෙන පැත්ත ඡන්දය දිනනා බව දත්තය බැවිනි.
ඇත්ත තිත්තය. එහෙත් ඉතා වැඩිදෙනා රජයේ රස්සාවකට කැමැත්ත දක්වන්නේ අඩුවෙන් වැඩකර වැඩියෙන් වරප්‍රසාද ලැබීමට බවද ඇත්තය. (තමන් ලබාගන්නා වැටුපටත් වඩා වැඩි සේවයක් කරන රජයේ සේවකයන් පිරිසක්ද සිටින අතර ඒ ගරු කටයුතු සුළුතරයට මේ කියන දේවල් අදාළ නොවේ.)
ආණ්ඩුවේ වෘත්තීය සමිති යනු රජයේ සේවකයන්ගේ අඩු වැඩ වැඩි වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින සංවිධානයි. පසුගිය කාලය මුළුල්ලේම මේ කියන වෘත්තීය සමිතිවල නායකත්වය දැරුවේ ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන පක්ෂයයි. පෙර කී රුවන් වැකිය කියූ නලින්ද ජයතිස්සද නායකයකු වන පක්ෂයයි.
ඒ පක්ෂය ඔවුන් පුන පුනා කියන හැත්තෑහය අවුරුදු සාපයෙන් අවුරුදු පනස් නවයකදීම ක්‍රියාකාරීව සිටි කණ්ඩායමකි. මේ කාලය මුළුල්ලේම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රැකියා විරහිතයන්ට රජයේ රැකියා ලබා දෙනු යන්නයි. රජයට කොපමණ රජයේ සේවකයන්ගේ බරක් ඉසිලිය හැකිද යන්න එහිදී කල්පනාවට භාජනය කෙරුණේ නැත.
මේ රටට විශාල බරක් වී ඇති රජයේ සේවක සංඛ්‍යාව සීමා කිරීමට උත්සාහයක් ගැනුණේ 2001-4 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් පමණි. රජයේ සේවයට බඳවා ගැනීම ඒ කාලයේ දැඩි ලෙස සීමා කෙරුණු බව එදවස වැඩිහිටියන් වූ කාටත් මතක තිබේ. එකල සිය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය හයමාසයක හෝ අවුරුද්දක හෝ පුහුණුව වැටුප් රහිතව පවා රජයේ ආයතනයකින් ලබාගැනීම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසු වූයේ නැත.
එහෙත් 2004 දී ඒ ආණ්ඩුව පෙරළා දැමීමට ඉදිරිපත් කෙරුණු ප්‍රධාන සටන් පාඨය වූයේ රැකියා විරහිතයන්ට රජයේ රැකියා ලබාදීමය. ජවිපෙ එහිදී ප්‍රමුඛ වැඩ කොටසක් ඉෂ්ට කළ බව මෙහිදී සඳහන් නොකරම බැරිය. එකල හත්ලක්ෂයක් වූ රජයේ සේවක සංඛ්‍යාව අද වන විට පහළොස් ලක්ෂය දක්වා වැඩිවී ඇත්තේ ඊට පසු පැමිණි සෑම ආණ්ඩුවක්ම දේශපාලන වාසිය වෙනුවෙන් රජයේ ආයතන පිරවීම නිසාය.
රජයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාව අපේ රටේ දියුණුවට බාධා කරන බරපතළ කාරණයකි. එබඳු රජයේ සේවයක් බිහි කිරීමට දායක වූ ආණ්ඩු හා ඒ සඳහා එකී ආණ්ඩුවලට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ සියලු කොටස් ඒ සඳහා වගකිව යුතු වේ. ජවිපෙද එහිලා තමන්ට හිමි කොටස නොවලහා භාරගත යුතුය.
රජය යනු ලාභ ලබන ව්‍යාපාරයක් නොවේ. ඒ නිසා අපේ රටේ පමණක් නොව ලෝකයේ දියුණු රටවලද රජයේ රැකියා යනු පෞද්ගලික අංශයේ රක්ෂා මෙන් ඉහළ වැටුප් ගෙවනු ලබන රස්සා නොවේ. එහෙත් මෙහිදී නම් අඩුවෙන් වැඩකරන රජයේ සේවයට වැඩියෙන් වැටුප් ඉල්ලීමද සිද්ධ වෙයි.
රජයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාව සාධාරණීකරණය කිරීමට ඔවුන් ලබන්නේ හිඟන වැටුපක් යැයිද පෙන්වා දෙනු ලැබේ. එහෙත් අද කාලයේ රජයේ අධ්‍යාපන සේවයේ ගෙවනු ලබන වැටුප් නම් සුළු යැයි කියා සිටීමට කිසිවකුටත් පුළුවන්කමක් නැත. මෑතකදී විශ්‍රාම ගත් රජයේ ගුරුවරයකුගේ විශ්‍රාම වැටුප අවුරුදු කීපයකට පෙර විශ්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරයකුගේ විශ්‍රාම වැටුපටද වඩා වැඩිවීම මීට හොඳම උදාහරණයයි.
රජයේ සේවය හා රජයේ සේවකයන් ගැන තුමුන්ද රජයේ සේවකයකු හැටියට කටයුතු කර ඇති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ දෑ අගනා බව අපි මෙම තීරුව ආරම්භයේදීම කියා සිටියෙමු. ඔහු විසින් කළ යුතු යැයි අප සිතන තවත් වටිනා ප්‍රකාශයක් තිබේ. ඒ අද රජයට මහා බරක් වී ඇති රජයේ සේවය නමැති බරවා කකුල මේ තරම් විශාල කරන්නට අද රට කරවන ජවිපෙද නොඅඩුව දායක වී ඇති බව ප්‍රසිද්ධියේ පිළිගැනීමය.

