ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයේ මෙරට ඒජන්තයෝ !
10 July 2026
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයේ මෙරට ඒජන්තයෝ !
10 July 2026
ජූලි 8 වැනි දා ‘අරුණ’ පුවත්පත 13 වැනි පිටුවෙහි ප්‍රධාන පුවත හැටියට සඳහන් කර තිබුණේ ඇප ලබා එතෙරට පැන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් නසිම් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා පාකිස්තානය, ඉන්දියාව සහ ඇල්ජීරියාව යන රටවල ත්‍රස්තවාදී සංවිධාන සමග සබඳතා ගොඩනගාගෙන තිබෙන බව මෙරට ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇතැයි කියාය. එකී ත්‍රස්තවාදී සම්බන්ධතා මගින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කිරීමටත්, ප්‍රතිවිරුද්ධ අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කිරීමටත් කංජිපානි කටයුතු කරන බවද එකී පුවතෙහි සඳහන් වෙයි.
ආරක්ෂක අංශ මගින් එවැනි තොරතුරක් තහවුරු කරගෙන තිබෙන්නේ කලාපීය හෝ ඉන් පිටත රටවල ඔත්තු සේවා මගින් ලැබුණු බුද්ධි තොරතුරු මත බව අපට කල්පනා කළ හැකිය. දැනට ලැබෙන තොරතුරු අනුව මෙකී සංවිධානාත්මක අපරාධකරුවා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුද නිකුත් කරනු ලැබ තිබේ. පසුගිය කාලයේ විවිධ රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙය වූ පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙකු කුදලාගෙන මෙරටට රැගෙන ආ අයුරු අපි දුටුවෙමු. එකී පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම් ත්‍රාසජනක දර්ශන ඇතුළත් චිත්‍රපට ජවනිකා වැනි විය. එහෙත් කංජිපානි ඉම්රාන් හසුකර ගැනීමට තවම නොහැකි වී තිබේ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට පමණක් නොව සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා රැසක් තිබෙන්නෙකි. ඇප ලැබුණු විගස මෙකී සංවිධානාත්මක අපරාධකරුවා ලංකාවෙන් පලා ගියේ ඔහුගේ දකුණු ඉන්දියානු සම්බන්ධතා ද උපයෝගී කරගෙන බව පසුව හෙළි විය. ඉතා සූක්ෂ්ම ලෙස රටින් පැනයාමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ කලාපීය සහ ඉන් පිටත ත්‍රස්තවාදී සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ජාලය සමග ඔහුට පුළුල් සබඳතාවක් තිබෙන බවය.
ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල විවිධ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වේ. එසේම ඇල්ජීරියාව යනු එවැනි ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් බෙහෙවින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී තිප්පොළකි. පාකිස්තානය යනු මත්ද්‍රව්‍ය ත්‍රිකෝණයේ කේන්ද්‍රස්ථානයකි. පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව යන රටවල් අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් කළු සල්ලි විශාල ප්‍රමාණයක් වාර්ෂිකව එහා මෙහා හුවමාරු වෙයි. කංජිපානි නමැති අපරාධකරුවා පසුගිය කාලයේ ඉතා තර්ජනාත්මක අනතුරු ඇඟවීම් කීපයක් කළ අයුරුද දැකගත හැකි විය. සමහර තොරතුරුවලින් හෙළි වූයේ ඔහු යුරෝපීය රටක වාසය කරන බවය. එකී තතු සැබෑ නම් ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ජාලයේ ප්‍රබල ඒජන්තයකු විය හැකිය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය යනු ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලෝකයේ බොහෝ රටවල් අවධානයට ලක් කරන ප්‍රධාන විෂයයකි. ශ්‍රී ලංකාව එවැනි අවධානයක් ඒ පිළිබඳ යොමු කර තිබේදැයි අප දන්නේ නැත. එසේ වුවද නොපමාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. විශේෂයෙන් ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාර සහ මත්ද්‍රව්‍ය ජාවාරම් එකිනෙකට බැඳී තිබෙන බව රහසක් නොවේ. පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය රටවල පමණක් නොව ජම්බුකාෂ්මීර ප්‍රදේශවල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී අන්තවාදී කණ්ඩායම් බෙහෙවින් යැපෙනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ලැබෙන කළු සල්ලිවලිනි. දකුණු ඉන්දියාවද එවැනි මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ව්‍යාපාර යහතින් වර්ධනය වී තිබෙන කලාපයකි. ලංකාවේ ජාවාරම්කරුවන් බොහෝ විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ව්‍යාපාර සමග සබඳතා ඇතිකර ගන්නේ දකුණු ඉන්දියාව මගිනි. ඒ අතරින් තමිල්නාඩුව ප්‍රධාන පෙළේ තිප්පොළකි. එනිසා ආණ්ඩුව කංජිපානි වැනි මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ජාලය සමග සම්බන්ධතා තිබෙන බව තහවුරු වී තිබෙන අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොදිය යුතුය.
විශේෂයෙන් ඔහු ලෝකයේ විවිධ රටවල සැරිසරමින් ශ්‍රී ලංකාවට කරන බලපෑම ඉතා බරපතළ එකක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ලෝකයේ විවිධ රටවල ඔත්තු සේවා සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට තිබෙන සබඳතා උපයෝගී කර ගනිමින් මෙවැනි අපරාධකරුවන් කොටු කර ගැනීම අපහසු නැත. උපායමාර්ගික හා තාක්ෂණික වශයෙන් දියුණු අපරාධ මර්දන ජාලයක් ලංකාවට තිබෙන බව පසුගිය කාලයේ මෙරට පොලිස් නිලධාරීන් ඉන්දුනීසියාව සහ ඩුබායි ඇතුළු රටවල කරනු ලැබූ වැටලීම්වලින් පැහැදිලි වේ. එකී දක්ෂ නිලධාරීන්ට ලබා දිය හැකි සියලු පහසුකම් සම්පාදනය කරමින් ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවන්ට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ජාලය (සමග තිබෙන සබඳතා හෙළිකර ගත යුතුය. එකී සබඳතා රටේ ජාතික ආරක්ෂාවට ප්‍රබල අනතුරක් බව අවධාරණය කළ යුතුය. එකී අනතුර කිහිප ආකාරයකින් සිදුවිය හැකිය. ඒ අතර ප්‍රධාන ආකාරයක් වනුයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කළු සල්ලි ශ්‍රී ලංකා සමාජය තුළ යෙදවීමය. ඒ ආකාරයට කළු සල්ලි යෙදවීම මගින් සිදුවිය හැකි අනතුර සුළු පටු නොවේ. දැනටමත් මත්ද්‍රව්‍ය ජාලයෙන් උපයාගත් කළු සල්ලි විශාල ප්‍රමාණයක් මෙරට සමාජය තුළ සංසරණය වන බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් උපයාගෙන තිබෙන වත්කම් වලින් පැහැදිලි වෙයි.

