brand logo
logo
නහයට උඩින් වතුර ගියත් පැසිපන්දු සම්මේලනය තවම නිදි

නහයට උඩින් වතුර ගියත් පැසිපන්දු සම්මේලනය තවම නිදි

04 August 2026 | නදුන්ක නෙත්සර


ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් සම්මේලනය වෙත නියෝග කරමින්, ඒ සඳහා ලබාදුන් දින 90ක කාලයෙන් අඩක් ඉක්ම ගියද මේ දක්වා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ කටයුතු කර නැතැයි 'අරුණ'ට වාර්තා වේ.


පැසිපන්දු සම්මේලන‍යේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය විසින් යොමු කෙරුණු අභියාචනාවකට අදාළව පත්කළ උපදේශක කමිටු වාර්තාවේ නිර්දේශ, ජුනි මස 15 දාතමින් යුත් ලිපියක් මගින් පැසිපන්දු සම්මේලනය වෙත දන්වා එවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් කටයුතු කර ඇත. 2025.05.21 දිනැති අංක 2437/24 දරන ගැසට් නිවේදනයට අනුකූලව, දින 90ක් තුළ පැසිපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස අදාළ නිර්දේශ අතර මූලිකවම දැනුම් දී ඇත. එමෙන්ම පැසිපන්දු සම්මේලනයේ ඡන්ද විමසීම්, මහා සභා රැස්වීම් ඇතුළු කටයුතුවලදී 2025.05.21 දිනැති ගැසට් නිවේදනයට අනුකූලව කටයුතු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද දැනුම් දී ඇත.


මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දක්වා පැසිපන්දු සම්මේලන නිලධාරීන් විශේෂ මහා සභාවක් කැඳවීම හෝ වෙනත් පියවරක් ගෙන නොමැති බව වාර්තා වන අතරම ඉකුත් ජූලි මස 29 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමේදී ද අදාළ නිර්දේශ පිළිබඳව සාකච්ඡාවට හෝ ගෙන නොමැතිවීම විශේෂත්වයකි.


පැසිපන්දු සම්මේලන‍ය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වූ බවට සහ 2025 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය විසින් ඉහත සඳහන් කළ අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

 

More News..