මේ දිනවල කාලගුණයට එල්නිනෝ හි බලපෑමක් නැහැ
18 September 2026 | සංවාදය - සෙව්මිණී වාසල
මේ දිනවල කාලගුණයට එල්නිනෝ හි බලපෑමක් නැහැ
18 September 2026 | සංවාදය - සෙව්මිණී වාසල
මේ වන විට ගෝලීය වශයෙන් ඇති වී තිබෙන එල්නිනෝ කාලගුණික විපර්යාසය මෙම වසර අවසන් වන විට අතිශය ප්‍රභල මට්ටමකට වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. එහි බලපෑම 2027 වර්ෂයේ මුල් මාස කිහිපය දක්වාම නොකඩවා පැවැතීමට ඉඩ ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් එමගින් ලංකාවට විය හැකි බලපෑම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිශාන් සකලසූරිය සමග "අරුණ" කළ සාකච්ඡාවයි මේ.
මේ වන විට ලෝකයේ බොහෝ රටවලට දැඩි ලෙස බලපෑම් කරමින් තිබෙන එල්නිනෝ තත්ත්වය ඉදිරියේදී ලොව දරුණුතම එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව සියයට සියයක් බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවලා තියෙනවා. අපි මුලින්ම ඒ ගැන කතාකරමු?
ඉහළ උෂ්ණත්වයක් වාර්තා වීම එහෙමත් නැත්නම් එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා විවිධ පර්යේෂණ කෙරෙනවා. සියයට සියයක්ම එල්නිනෝ තත්ත්වය උපරිම අගයට පැමිණ තිබෙන බව එම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා එල්නිනෝ තත්ත්වය පිළිබඳව නැවැත සම්භාවිතාවක් ගණනය කිරීමට දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ.
මේ වන විට පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකට වැඩි අගයක් පෙන්නුම් කරනවා. ඒ හේතුවෙන් එල්නිනෝහි ක්‍රියාකාරීත්වය ඉතිහාසයේ උපරිම තලයකට වර්ධනය වෙලා තියෙනවා. එල්නිනෝ තත්ත්වය පිළිබඳ මුලින්ම හඳුනාගෙන ඒ පිළිබඳ විද්‍යාත්මකව විග්‍රහ කිරීමට ආරම්භ කළ තැන් පටන් මේ දක්වා කාලය තුළ පැසිෆික් සාගරයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙවර වාර්තා වූ නිසා ඉතා ඉහළ එල්නිනෝ තත්ත්වයක් මේ වසර තුළ වාර්තා වෙන්න ඉඩ තියෙනවා.
ඔක්තෝබර්, දෙසැම්බර් මාසවල එල්නිනෝ තත්ත්වය ප්‍රබල විය හැකි බවටත් පුරෝකථන ඉදිරිපත් වෙලා තියෙනවා නේද?
ඔව්. එල්නිනෝ ප්‍රබල වෙනවා යන්නෙන් අදහස් වෙන්නේ සාගර ජල මට්ටමේ උෂ්ණත්වය උපරිම අගයකට ළඟා වීමයි. නිවර්තන කලාපීය සාගර ජල මට්ටමේ උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ කාලයේදී සක්‍රීය වන මෝසම් සහ අන්තර් මෝසම් සුළං රටා සමග වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙලා වළාකුළු නිර්මාණය වීමෙන් අධික වර්ෂාපතනයක් ලැබෙනවා. උෂ්ණත්වය ඉතා ඉහළ අගයක පැවැතීම නිසා කෙටි කාලයක් තුළ මිලිමීටර 100-200 ඉක්මවූ තද වර්ෂාපතනයක් දැකගත හැකියි. මේ සංසිද්ධිය එල්නිනෝ ප්‍රබල වීමෙන් ඇතිවෙන සෘජු ප්‍රතිඵලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.
මේ වසර තුළ ගෝලීය වශයෙන් අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවුණොත් එමඟින් ලංකාවට මොන වගේ බලපෑමක්ද වෙන්නේ?
දැනටමත් ලංකාවට එල්නිනෝවල බලපෑමක් තිබෙන බව අපිට හඳුනාගන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ යාම සමග වැව් සහ ජලාශවල ජලය සිඳී යනවා. ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වය නිසා ලංකාවේ වියළි කලාපයේ ජනතාවට දැඩි බලපෑමක් ඇති වුණා. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ගමන් කරන්නේ ලංකාවට සෘජුවම ඉහළින්. ඒ හේතුවෙන් ලංකාවට අධික උෂ්ණත්වයක් වාර්තා වුණා. ඒ උෂ්ණත්වය නිසා අපේ රටේ දිස්ත්‍රික්ක කිහිපයකම ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා. මේ වන විට සූර්යයා දකුණට ගමන් කරමින් පවතිනවා. කොහොම වුණත් සැප්තැම්බර්, ඔක්තෝබර් කාලසීමාවේ දෙවන අන්තර් මෝසම් කාලගුණයත්, දෙසැම්බර් මාසයේදී ඊසානදිග මෝසමත් ආරම්භ වෙනවා. එම තත්ත්වයන් හමුවේ වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර හා උතුරු බෑවුම් නායයාම්වලට ලක්වීමත් වියළි කලාපීය ප්‍රදේශ දැවැන්ත ගංවතුර තත්ත්වයකට මුහුණ දීමත් ඉදිරියට වෙන්න ඉඩ තියෙනවා.
ජනවාරි පෙබරවාරි මාසවල වර්ෂාපතනයේ අඩුවක් විය හැකි බවත් කියැවෙනවානේ?
ඔව්. ජනවාරි වන විට වර්ෂාපතනය අඩු වෙලා අප්‍රේල්, මැයි තෙක් නැවැත උෂ්ණත්වය ඉහළ යන්න ඉඩ තියෙනවා. තවත් විදිහකට කියනවනම් ජනවාරි මැද භාගය වන විට වර්ෂාපතනයේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. නිරිතදිග මෝසම් කාලය අවසන් වීමත් සමග ඊසානදිග මෝසම පැමිණීමට පෙර පවතින අන්තර් මෝසම් කාලයේදී වියළි කලාපය තුළ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්. මැයි මැද වන විට නැවැත නිරිතදිග මෝසම් කාලය පැමිණීමත් සමග එල්නිනෝ තත්ත්වය පහව යනවා. ඒත් වියළි කලාපීය ප්‍රදේශවල වියළි බව නැවැත ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් දත්තවලින් පෙන්නුම් කරනවා.
එල්නිනෝ නිසා මේ වන විට ලංකාවේ ඊසානදිග ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවලට එල්ල වී ඇති දැඩි බලපෑම ගැනත් කතා කරමු?
ප්‍රධාන වශයෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, අම්පාර කියන දිස්ත්‍රික්කවලට එල්නිනෝ නිසා අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම ජල හිඟය හමුවේ වගාවලට සතුන්ට මෙන්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවලටත් දැඩි ලෙස බාධා මතුවුණා. වියළි කලාපයේ ජන ජීවිතය අඩාළ වූ බවට බොහෝ තොරතුරු අපි පහුගිය දවස්වල දැක්කා. කොහොම වුණත් අන්තර් මෝසම් වැසි ලැබීමත් සමග එම බලපෑම්කාරී තත්ත්වය යම් තරමකට සමනය වෙමින් පවතින බවත් මතක් කළ යුතුයි.
ලංකාවේ එක පැත්තකට දැඩි නියඟයක්. තවත් පැත්තකට තද වර්ෂාවක්. මෙහෙම වෙන්නේ එල්නිනෝ නිසාද? නැත්නම් වෙනත් කාලගුණික විපර්යාසයක් නිසාද කියලත් ජනතාව අහනවා?
මේ කාලය තුළ නම් තියෙන්නේ සාමාන්‍ය කාලගුණික තත්ත්වයක්. දෙවන අන්තර් මෝසම් කාලසීමාව තමයි දැන් මේ ඇතිවෙලා තියෙන්නේ. අන්තර් මෝසම් කාලවලදී ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වෙනවා. ඒ නිසා දිවයින හරහා තද සුළං හැමීමක් වෙන්නේ නැහැ. උෂ්ණත්වය ඉහළ ගිහින් සුළඟ අවම වෙනවා. මෙය අන්තර් නිවර්තන අභිසරණ කලාපය (තාප සමකය) ලෙසයි හඳුන්වන්නේ. මේ කාලයේ උදෑසන පැහැදිලි අහසක් පැවැතුණත් සවස් කාලයේ ගිගුරුම් සහිත සංවහන වැසි ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයට එල්නිනෝහි සෘජු බලපෑමක් නැහැ. එල්නිනෝ මගින් වෙන්නේ ලැබීමට නියමිත වර්ෂාපතන ප්‍රමාණය වෙනස් වීම සහ වියළි කලාපය පුරා ලැබීමට තිබූ වැසි ඇතැම් ප්‍රදේශවලට පමණක් සීමා වීමයි.
ඇතැම් ප්‍රදේශවල ජලාශවල ජල පරිමාව සීඝ්‍රයෙන් අඩුවෙන්නේ රජය නිසි ආකාරයෙන් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු නොකළ නිසා කියලත් චෝදනාවක් තියෙනවා. එල්නිනෝ වැනි ප්‍රබල කාලගුණ විපර්යාසයක් ඇති වෙලා තිබෙන වෙලාවක රජය කටයුතු කළ යුතුව තිබෙන්නේ කොහොමද කියලත් අපි කතා කරමු?
ජලය සිඳීගිය වැව්වල තැන්පත් වී ඇති රොන්මඩ ඉවත් කරගැනීමට රජයට දැන් ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ජලාශ නැවැත පිරෙන්නට පෙර අනවශ්‍ය රොන්මඩ ඉවත් කරගැනීමෙන් ඒවායේ ධාරිතාව වැඩි කරගන්න පුළුවන්. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුයි. ඒ වගේම තමයි ලැව්ගිනි පාලනය කෙරෙහිත් රජය අවධානය යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. පසුගිය දිනවල හෙක්ටයාර 350-400ක් පමණ ගිනිබත් වී තියෙනවා අපි දැක්කා. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ලැව්ගිනි ඇතිවෙන්නේ කලාතුරකින්. මිනිසුන් නොසැලකිල්ලෙන් හැසිරීම නිසා තමයි ලැව්ගිනි වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන්නේ. ජලය නොමැතිව පීඩා විඳින සතුන්ගේ වාසස්ථාන හා තණබිම් ගිනිබත් වුණාම ඒ සතුන් විශාල වශයෙන් මියයනවා. ඒ නිසා වියළි ප්‍රදේශවල ගිනි තැබීම්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට ජනතාවත් වගබලා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයත් කටයුතු කළ යුතුයි.
ජල කලමනාකරණය සම්බන්ධයෙන් මේ වෙලාවේ ජනතාවටත් විශාල වගකීමක් තිබෙන බව වගකිවයුත්තන් කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
වැසි ජලය රැස් කරගැනීම සඳහා ජල ටැංකි භාවිත කරමින් මාස දෙක තුනකට අවශ්‍ය පානීය ජලය එකතු කරගැනීමට ජනතාව කටයුතු කරනවා නම් මේ අවස්ථාවේ එය ඉතාමත් වටිනවා. රජය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ වගේම අපේ භූගත ජල මට්ටම ප්‍රමාණවත් ලෙස වර්ධනය වෙලා නැහැ. මැණික් පතල් වැනි කර්මාන්ත නිසා විශාල වශයෙන් භූගත ජලය අපතේ යවනවා. ඒ නිසා ජලාශ හිඳී යාම සහ අනෙකුත් සංසිද්ධීන් සියල්ලේ වගකීම එල්නිනෝ මතම පටවන්නේ නැතිව ජල කළමනාකරණයේ පවතින දුර්වලතා හඳුනා ගැනීමටත් බලධාරීන් කටයුතු කළ යුතුයි. මහවැලි, උඩවලව, මල්වතු ඔය වැනි දැවැන්ත ව්‍යාපෘති තිබුණත් මාස දෙකක් වැසි නොලැබුණොත් මුළු රටම අර්බුදයකට ලක්වෙනවා. දේශගුණික විපර්යාස හමුවේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් වහා තීරණ ගත යුතුයි. ඇත්තටම ඒ පිළිබඳ මේ වනවිට අපිත් යම් යම් පර්යේෂණ කරමින් ඉන්නවා.

