brand logo
logo
ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලේදී අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලේදී අපරාජිතව ඉදිරියට

02 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග අංශයේදී 'සී' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට අද (02වැනිදා) සිය මූලික වටයේ තෙවැනි තරගයද ජයගනිමින් කාණ්ඩ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.


ඒ අනුව අදාළ අර්ධ අවසන් පූර්ව තරගය අද ජපානයේ වේලාවෙන් පස්වරු 3.15ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.45ට පැවැත්වීමට නියමිතය.


ඊයේ පැවැති පළමු වටයේ තරගවලදී පිළිවෙලින් පිලිපීනය ලකුණු 22-14ක් සහ සිංගප්පූරුව ලකුණු 33-17ක් ලෙසින් පරාජයට පත්කළ ශ්‍රී ලංකාව අද ෆීජි ක්‍රීඩකයන් විරැසකගෙන් සමන්විත මෙන්ම සියලුම ක්‍රීඩකයන් පාහේ විදේශ සම්භවයක් සහිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත එක්සත් අරාබි එමිරේට් කණ්ඩායම ලකණු 17-5ක් ලෙසින් පරාජයට පත්කළේය.


එම තරගයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී එක් උත්සාහක දිනුමක් සමගින් ලකුණු 5-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් සහ උත්සාහක දිනුමක් සමගින් අවසන් මොහොත දක්වා ලකුණු 17-00ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියද, අවසන් තත්පර කිහිපයේදී එමීර් කණ්ඩායම වාර්තා කළ උත්සාහක දිනුමක් සමගින් ලකුණු තත්ත්වය 17-05ක් ලෙසින් සටහන් වෙමින් තරගය නිමවිය.


එම ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකාවට 'ඒ' කාණ්ඩයේ අනුශූරයන් වන චීනය මුණගැසෙනු ඇති අතර එම තරගය සම්බන්ධයෙන් 'අරුණ' සමගින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු ෆසිල් මරීජා, සිය තක්සේරුවට අනුව කණ්ඩායම් දෙකම සම මට්ටමේ සිටින බැවින්, වැරදි අවම වශයෙන් සිදුකරන කණ්ඩායම තරගය ජයගනු ඇතැයි පවසා සිටියේය. 


මෙම තරගාවලියේ තම කණ්ඩායමේ පළමු ඉලක්කය වූයේ කාණ්ඩ ශූරයන් බවට පත්වීම බවත්, ඒ අනුව එය සාර්ථකව සපුරාගැනීමෙන් පසු චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගය දෙසට යොමුවන අතර එම තරගයේදී වැඩි අවධානයක් යෙමුකරනුයේ තම කණ්ඩායමේ මෙතෙක් දුටු දුර්වලතා සකසාගැනීමට බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර 'අරුණ'ට පවසා සිටියේය.

 

More News..