ස්ට්‍රයික් අයිති අපිට ඩෝ!
28 November 2026 | සුන්දර නිහතමානි ද මැල්
ස්ට්‍රයික් අයිති අපිට ඩෝ!
28 November 2026 | සුන්දර නිහතමානි ද මැල්
"මොකද දන්නෑ ජේවීපිය දැන් ස්ට්රයික්වලට විරුද්ධ?" මම බිරිඳගෙන් ඇසුවෙමි "ජෙප්පො කියන්නෙ ස්ට්රයික්වල පීතෘවරුනෙ"
"පක්ෂෙ පරණ තෙස්තමේන්තුවේ හැටියට නම් ඒගොල්ලො ස්ට්රයික්කාරයොත් එක්ක හිටගන්න ඕන තමයි" බිරිඳ මට පැහැදිලි කළාය. "ඒ වුණාට ජේවීපිය කියන්නෙ එකතැන පල්වෙන්නෙ නැතුව ඉදිරිගාමී වෙච්ච පක්ෂයක්නෙ. ඒක නිසා දැන් ඒගොල්ලො වැඩ කරන්නෙ 2024 අලුත් තෙස්තමේන්තුව අනුවයි"
සංශෝධිත පිටපතේ ස්ට්‍රයික් ගැන සඳහන් වන්නේ කෙසේදැයි දැනගැනීමට මට අවශ්‍ය විය.
"ඒක අහන්න දෙයක් නෙවෙයිනෙ හලෝ" ඈ මගේ අනවබෝධය ගැන අප්‍රසාදයෙන් කීවාය. "අලුත් තෙස්තමේන්තුවේ තියෙන්නෙ ස්ට්‍රයික් කියන්නෙ ජනතා ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ දුෂ්ට ව්‍යාපාරයක් කියලයි"
"ඒක යකාගෙ වැඩක්නෙ. ජෙප්පො කරන කොට ස්ට්‍රයික් කියන්නෙ මහජන අරගල"මම කේන්තියෙන් කීවෙමි. "අනිත් අය කරාම හොරිකඩ වැඩ"
බිරිඳ නොඉවසිල්ලෙන් හිස දෙපැත්තට වැනුවාය.
"හලෝ, කවුද මේ රටේ ස්ට්‍රයික් කියන දේ අවුරුදු, නත්තල්, ක්‍රිකට් වගේ ජන ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච සංස්කෘතිකාංගයක් හැටියට දියුණු කරේ, ජේවීපියනෙ. ස්ට්‍රයික් සම්බන්ධ ලෝක ශූරතාවක් තිබුණා නම් ඒගොල්ලො ඒකත් අනිවාර්යයෙන් දිනාගන්නවනෙ" බිරිඳ කියාගෙන, කියාගෙන ගියාය. "එතකොට තමන් විශාල කැපවීමකින් ඇතිකරපු ඒ මහාර්ඝ සම්ප්රදාය කොල්ලො බල්ලො අතට යන්න නොදී රැකගැනීමේ ජාතික වගකීමක් ජේවීපියට තියෙනව නේද ?"
"ඒ කියන්නෙ පොතක සියලු හිමිකම් කර්තෘ සතුයි කියනව වගේ දැන් ස්ට්රයික්වල සියලු හිමිකම් තියෙන්නෙ ජෙප්පොන්ට කියලද?"
"හරියට හරි" බිරිඳ ප්රශංසාත්මකව කීවාය. "ලයිසන්නෙක තියෙන්නෙ ජේවීපියට. එහෙම තියෙද්දි ලයිසන් නැති එවුන් ස්ට්‍රයික් කිරිල්ල නීතිවිරෝධීයි, සදාචාරයට පටහැනියි, හරිම අසාධාරණයි"
"මේක විකාර කතාවක්නෙ"මම බිරිඳට කීවෙමි." එතකොට ජේවීපියෙන් අවසර ගන්නෙ නැතුව අනිත් අයට ස්ට්‍රයික් කරන්න බැරිද?"
බිරිඳ මගේ පිටට තට්ටුවක් දැම්මේ "ඔය හොඳට තේරෙන්නෙ" යන අදහසින් විය යුතුය.
"ඒ වුණාට නෝනා, මේගොල්ලො ස්ට්‍රයික් කරල, කරලනෙ අන්තිමේ කොහොම හරි ආණ්ඩු දොරත් ඇරගත්තෙ"මම බිරිඳට කීවෙමි. "ස්ට්‍රයික් පිහිටෙන් තමන් ඇතුළට ගියාට පස්සෙ අනිත් එවුන්ට ස්ට්‍රයික් කරන්න නොදී දොර වහගැනිල්ල කැතයිනෙ"
බිරිඳ හයියෙන් හිනාවුණාය.
"එළියෙ ඉන්නකොට දොර කඩාගෙන හරි ඇතුළට යන්න හැදුවට, ඇතුළට ගියාට පස්සෙ කවුරුත් කරන්නෙ දොරේ අගුල දාගැනිල්ලනෙ හලෝ" බිරිඳ සිනාසෙමින් කීවාය. "අනික ස්ට්‍රයික් කරේ හැත්තෑහය අවුරුදු සාපෙ කාලෙනෙ. දැන් ආණ්ඩුව තියෙන්නෙ ස්ට්රයික්කාරයන්ගෙ අතේනෙ. ඒක නිසා අද ස්ට්‍රයික් කියන්නෙ කල් පැනපු ආයුධයක්"
"ජේවීපිය කියන්නෙ රටේ සාධාරණම මිනිස්සු ඉන්න සාධාරණම පක්ෂය කියලනෙ කියන්නෙ" මම බිරිඳට සිහිපත් කළෙමි. "ඒත් එච්චර හොඳයි කියන පක්ෂෙ ආණ්ඩුවත් ස්ට්‍රයික් තහනම් කරාම ඒගොල්ලො, ස්ට්රයික්වලට, ඉඩදීපු අනිත් පක්ෂවලටත් වැඩියෙ නරක පක්ෂයක් වෙනවනෙ"
බිරිඳ ඒ කතාව බැරෑරුම් ලෙස භාර ගත්තාය.
"මේ ආණ්ඩුව නරකයි කියල රට්ටුන්ට ඒත්තු ගන්නන වැඩ කිරීම නම් රාජද්‍රෝහී ක්‍රියාවක් වෙයි" ඈ මට අවවාදාත්මකව කියා සිටියාය. "මොකද දැනට වෙලා නැත්තෙ ඒ හරිය රට්ටුන්ට ඒත්තු ගන්නන්න බැරිවීම විතරයි"


