මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගෙන ආ හේතුව ඇමති විජිත පහදයි
17 February 2026
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගෙන ආ හේතුව ඇමති විජිත පහදයි
17 February 2026
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලැබුවේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කිරීමේ පියවරක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ දේශපාලන සංස්කෘතියේ මූලික වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් අද (17) පැවැති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මන්ත්‍රී ධුරය මහජන සේවයක් ලෙස සැලකිය යුතු අතර, එය මුදල් හම්බ කිරීමක් හෝ ආර්ථික වාසි ලබාගැනීමක් සඳහා භාවිතා කරන අවස්ථාවක් නොවන බවට නව සංස්කෘතියක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම පියවර කිසිවෙකුට පලිගැනීමක් හෝ හිටපු මන්ත්‍රීවරුන්ට රිදවීමක් සඳහා ගෙන එන එකක් නොවන බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැහැදිලි කරයි.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි වුවහොත් එය වත්මන් මන්ත්‍රීවරුන්ට ද අදාළ වන අතර, එම තීරණය සියලුදෙනාටම සම ලෙස බලපාන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ ජනතාව දිගු කලක් අපේක්ෂා කළ දේශපාලන සංස්කෘතික වෙනසක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ද ප්‍රකාශ කෙරේ.

