brand logo
logo
 බඩඉරිඟු ටොන් 2800ක් වරායේ හිරවෙලා

බඩඉරිඟු ටොන් 2800ක් වරායේ හිරවෙලා

17 January 2026 | අනීෂා මානගේ


ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් දෙදහස් අටසීයක තොගයක් කොළඹ වරායේ සිරවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.


 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් කොන්දේසි අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4800ක් ආනයනය කිරීමට “KST එවර්ග්‍රීන් ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනය වෙත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පසුගිය වසරේදී ටෙන්ඩරයක් ප්‍රදානය කර ඇත.


 එම ටෙන්ඩරය ලබා දී ඇත්තේ බලපත්‍ර ලබාදුන් දිනයේ සිට දින හතළිස් පහක් ඇතුළත අදාළ බඩඉරිඟු තොගය සපයා අවසන් කිරීමකට යටත්වය. 


එම බඩඉරිඟු තොගය ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් විසින් 2025.10.16 දින ලිපියක් මගින් අදාළ සමාගමට දන්වා ඇත. ආනයන අපනයන ජනරාල් විසින් 2026.01.13 වන දිනෙන් අවසන් වන පරිදි 2025.11.27 වන දින ආනයන බලපත්‍ර දෙකක් නිකුත් කර ඇත. බඩඉරිඟු තොගය අදාළ කාලරාමුව ඇතුළත සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක කාර්ය සාධක ඇපකරයක් ද අදාළ සමාගම විසින් ලබා දී තිබිණි. 


ගෙන්වීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් හාරදහස් අටසීයක බඩඉරිඟු තොගයෙන් මෙට්‍රික් ටොන් දෙදහස් අටසීයක තොගයක් පළමුව මෙරටට ගෙන්වා ඇත. එය ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කිරීමට යාමේදී කැබිනට් අනුමැතියකින් තොරව මෙම තොග නිදහස් නොකරන ලෙස ආනයන අපනයන ජනරාල් විසින් නියෝග කර ඇතැයි පැවසේ. මේ හේතුවෙන් බඩඉරිඟු තොගයෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති ඉතිරි කොටස ගෙන්වීම නැවැත්වීමට අදාළ සමාගම පියවර ගෙන තිබිණි. 


වරායේ සිරවී ඇති බඩඉරිඟු තොග වෙනුවෙන් වරායට රැඳවුම් ගාස්තු ගෙවීමට අදාළ සමාගමට සිදුව ඇති අතර වරාය තුළ දීර්ඝ කාලයක් තිබීමෙන් එහි ප්‍රමිතිය අඩු වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීමට ද අවධානමක් ඇතැයි අදාළ සමාගම පෙන්වා දෙයි. 


ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගෙන්වූ බඩඉරිඟු තොග වරායේ සිරවී තිබියදී මාස ගණනාවක් තිස්සේ ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඩාළ වී ඇති බවටද තොරතුරු අනාවරණය වේ. 


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායකගෙන් විමසීමේදී ඔහු පැවසූවේ ඉරිඟු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මාස දෙකහමාරක කාලයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය නවතා තිබූ බවයි. එම නිෂ්පාදන කටයුතු 12 වැනිදා යළි ආරම්භ කළ බවත් බස්නාහිර පළාතට ත්‍රිපෝෂ බෙදාහැරි බවයි. මේ දිනවල නඩත්තු කටයුතු කෙරෙන අතර ලබන සතියේ සිට යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.


වරායේ සිර වී ඇති බඩඉරිඟු තොගය සම්බන්ධයෙන් ආනයන අපනයන ජනරාල් විසින් නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් විමසා ඇති බවත් එය හැකි ඉක්මනින් නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය. එම බඩඉරිඟු තොගය සිරවී තිබීම ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය. 


මෙතෙක් කලක් ඌව හා මධ්‍යම පළාත්වලට දුම්රියෙන් ත්‍රිපෝෂ ප්‍රවාහනය කළද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවලින් එම පළාත්වලට ත්‍රිපෝෂ ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එයට විකල්ප ක්‍රමයක් සෙවිය යුතු බවද සභාපති අමල් අත්තනායක පැවසීය.

 

More News..