brand logo
logo
තරුණියන් 700කගේ අංක සමග අනංගයකු අල්ලයි

තරුණියන් 700කගේ අංක සමග අනංගයකු අල්ලයි

04 May 2026 | එෆ්.අස්ලම් / ගයාත්‍රී ගීගනආරච්චි


ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය සමූහය හරහා සම්බන්ධ කරගනිමින් උපකාරක පන්ති සිසුවියන් හා තරුණියන්ගේ ජංගම දුරකතන අංක ලබාගෙන ඔවුන්ගෙන් විවිධ ඉරියව්වලින් ලිංගික ඡායාරූප ගෙන්වා ගත් බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිට ඇති අම්පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.


ටෙලිග්‍රෑම් සමූහය මගින් තම ජංගම දුරකතන අංකය ලබාගෙන තමාගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමේ සිද්ධියකට අදාළව බිබිල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නැගෙනහිර පළාත් ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.


මේ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සමූහයට ඇතුළු වී සිසුවියන්ගේ ජංගම දුරකතන අංක ලබාගත් සැකකරු හඳුනාගෙන පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරු අත්අඩංගුවට ගැනීමට සතියකට පෙරද සිදුකර ඇත්තේ මෙවැනිම ආකාරයෙන් තර්ජනය කර ලිංගික ඡායාරූප ගෙන්වා ගැනීම බවද අනාවරණය වී ඇත.


සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ටෙලිග්‍රෑම් සමූහ ගිණුම් තුනක් තිබී ඇති අතර එක් ගිණුමක සිසුවියන් හා තරුණියන් 12 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප තිබී ඇත. අනෙක් ගිණුම් පරීක්ෂා කිරීමේදී සිසුවියන් හා තරුණියන් 700 කගේ පමණ ජංගම දුරකතන අංක තිබී ඒවා ඔහු විසින්ම අසාදු ලේඛනගත කර තිබූ බව විමර්ශන නිලධාරිහු කියා සිටිති.


සැකකාර තරුණයා මෙලෙස ලබාගන්නා ජංගම දුරකතන අංකවලට ටෙලිග්‍රෑම්වලින් කෙටි පණිවුඩ යවා සිසුවියන් හා තරුණියන් හා සම්බන්ධතා ඇති කරගන්නා බවත් පසුව වඩාත් සුහද වීමෙන් පසු ඔවුන්ගේ ඡායාරූප නිරුවත් ලෙස සකසා එම අංක වෙත යොමු කර තිබෙන බවත් අනාවරණය වී ඇත.


එලෙස යවනු ලබන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන බවත් එසේ නොකිරීමට නම් තමා පවසන ආකාරයේ ඉරියව්වලට ලිංගික අවයව පෙනෙන සේ ඡායාරූප ගෙන එවන ලෙසට තර්ජනය කර ඇති බවත් හෙළිවී ඇත.


මෙම සැකකරුගේ තර්ජනයන්ට සිසුවියන් හා තරුණියන් බොහෝ දෙනෙකු හසුව ඇතැයි අනුමාන කරන බවත් බිය හා ලැජ්ජාව මත බොහෝ දෙනෙකු පැමිණිලි කර නැති බවත් ලද එක් පැමිණිල්ලට අනුව කරන ලද විමර්ශනයේදී මේ බව හෙළිවී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.


මෙම සැකකරු සිය ජංගම දුරකතන අංකය භාවිතා කරමින් සකස් කරගත් ටෙලිග්‍රෑම් ගිණුමේ ඡායාරූප යෙදීමක් හෝ ස්ථිර නමක් සටහන් කර නොමැති බවත් විවිධ නම් වලින් පෙනී සිටිමින් මෙම අපරාධය සිදුකර ඇති බවත් එම නිලධාරියා කීවේය.


එසේම මෙම සැකකරු විසින් භාවිතා කළ අංකය ද පුද්ගලික අංකයක් බවත් එය කිසිවෙකුට හෝ නොපෙනෙන දුරකතන ඇමතුම් ඊට ලබාගත නොහැකි අංකයක් බවද අනාවරණය වී ඇත.


සැකකරු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, නැගෙනහිර පළාත් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිවාංජන ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

More News..