brand logo
logo
අවාරේ සිරිපා කරුණාවට විශේෂ අවසරයක්

අවාරේ සිරිපා කරුණාවට විශේෂ අවසරයක්

15 May 2024

අවාරයේ සිරිපා කරුණා කරන්නේ නම් ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අවසර ලබාගන්නා ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරති


අවාරයේ සිරිපා මාර්ගවල විදුලිය ඇතුළු පහසුකම්ද, ආරක්ෂාවට පොලිස් නිලධාරීන් හෝ සෞඛ්‍ය සේවකයින් ඇතුළු කණ්ඩායම්ද නොමැති බැවින් එම කාලය වන්දනාකරුවන්ට අනාරක්ෂිත බව උන්වහන්සේ පෙන්වා දෙති.


උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මෙවර සිරිපා වන්දනා වාරය අවසන් කිරීම නිමිත්තෙන් හා පෙරහර කටයුතු සංවිධානය වෙනුවෙන් පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය 13 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකදීය.


එම නිසා මෙය බැතිමතුන්ට කරන ලද නියෝගයක් නොවන බවත් අවාරයේ සිරිපා කරුණා කිරීම වැළැක්වීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.


"අවාරයේ සිරිපා කරුණා කරන යම් අයකු එහිදී රෝගාතුර වුණොත් දැඩි අවදානමක් මතුවනවා. ගියවර අවාරේ ගිය ඇතැම් අය ජල නළවලට, අම්බලන්වලට හා වැසිකිළිවලට සිදුකර තිබූ හානිය පිළිසකර කරන්න අමතරව රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වුණා. පරිසරයට මුදා හැර තිබූ නොදිරන කසළ ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කරන්න කණ්ඩායම් යොදවා නැති බැවින් පරිසරයටත් ලොකු හානියක් සිදුව තිබුණා. අවාර කාලය වෙන් කර තිබෙන්නේ මෙහි පරිසරයට සතා සිවුපාවට යළි හැඩ ගැසෙන්නයි. එම කාලයෙත් සිරිපා වන්දනාවේ ගියහොත් ගහ කොළට හා සතා සිවුපාවන්ටත් නිදහසක් නැති වෙනවා." යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

 

More News..