ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සති අන්ත නිවාඩුවටත් දොස්
29 July 2026 | •ඉන්ද්‍රජිත් සුබසිංහ
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සති අන්ත නිවාඩුවටත් දොස්
29 July 2026 | •ඉන්ද්‍රජිත් සුබසිංහ
ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ ඉල්ලා අස්වීම, එම කමිටු සාමාජිකයන්ගේ දැඩිබව සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සති අන්තයේ සහමුලින්ම අක්‍රියව පැවතීම යන කරුණු දෙකෙහි ප්‍රතිපලයක් බව වාර්තා වේ.
මලල ක්‍රීඩා තේරීම් කමිටුව විසින් අනුමැතිය ලබා නොදුන් ක්‍රීඩකයකු, ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත, ඇමරිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැනනැගුණු සිය විරෝධය හේතුවෙන් අදාළ තේරීම් කමිටුව ඉල්ලා අස්වූ බව පැවසේ.
වාර්තා වන අන්දමට එකී ක්‍රීඩකයා මෙම ලෝක ශූරතා තරගාවලිය සඳහා වන පරිසාධනය සපුරාලීමේ අරමුණින් ඉකුත්දා ජපානයේ පැවැති තරගාවලියකට සහභාගී වී ඇති නමුත් එහිදී පැවැති අයහපත් කාලගුණ තත්ත්වය, එම තරගාවලියේදී එකී ක්‍රීඩකයාගේ පරිසාධන ඉලක්කය සපුරාගැනීමට බාධාවක් වී තිබේ.
එසේ තිබියදී ජපානයේම පැවැත්වෙන තවත් තරගාවලියකට සහභාගීවීමේ අහඹු අවස්ථාවක් ඔහුට හිමිව ඇති අතර එම අවස්ථාව යොදාගනිමින් හෝ සිය පරිසාධනය සපුරාලීම ඔහුගේ අදිටන වී තිබුණි. ඒ අනුව (මීළඟට යෙදුණු ඉරිදා දිනයේ පැවැති) අදාළ තරගාවලියට සහභාගීවීම සඳහා විරෝධයක් නොමැති බවට වන ලිපිය හෙවත් අනුමැතිය බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වෙත එම ක්‍රීඩකයා විසින් (ජපානයේ වේලාව අනුව සිකුරාදා දිනය ඉක්මයෑමට මත්තෙන්) ඊ-මේල් පණිවුඩයක් යොමුකර තිබුණිද මලල ක්‍රීඩා සංගමය විසින් එය කියවා තිබුණේ එකී සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා) දෙදින ගෙවී යෑමෙන් පසුවය.
මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් ප්‍රතිචාරයක් නොවීම මත, එම ක්‍රීඩකයා සිය අභිමතය පරිදි ජපානයේ පැවැති එකී තරගාවලියට සහභාගී වෙමින් අදාළ පරිසාධනය සපුරාලීමට සමත්ව තිබේ. ඒ සමගම අදාළ ඉසව්වේ වයස 20න් පහළ ලෝක ශූරතාව සඳහා වන පරිසාධනය සපුරාලීමට දකුණු ආසියානු කලාපයෙන් සමත්කම් දැක්වූ එකම ක්‍රීඩකයා බවටද ඔහු පත්ව ඇත. නමුත් ඔහු අනුමැතිය රහිතව ධාවනයේ යෙදීම හේතුකරගනිමින්, එහිදී දැක්වූ දක්ෂතාව මත පදනම්ව, ලෝක ශූරතාව සඳහා වන සංචිතයට ඔහුගේ නම ඇතුළත් නොකිරීමට මලල ක්‍රීඩා තේරීම් කමිටුව දැඩි ස්ථාවරයක පසුව ඇත. එසේ තිබියදී, සමස්ත දකුණු ආසියානු කලාපයෙන්ම කැපී පෙනෙන දක්ෂතාවක් දක්වා තිබිම සලකාබලා මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරගන්නා මෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කර ඇති අතර එම නියෝගයට හිස නැමීමට අකමැතිවීම මත අදාළ තේරීම් කමිටු බලධාරීන් ඉල්ලා අස්වූ බව කියැවේ.
"මෙතැනදි ඇමැතිතුමාගේ මැදිහත්වීම ඉතාම සාධාරණයි. ඒ ක්‍රීඩකයා දකුණු ආසියාවෙන්ම ඒ පරිසාධනය දැක්වූ එකම ක්‍රීඩකයා නම් ඇයි අපිට ඔහු වෙනුවෙන් ඒ අවස්ථාව ලබාදෙන්න බැරි. තේරීම් කමිටුවක කාර්යභාරය සුදුස්සාට සුදුසු තැන ලබාදීම නේද? ඒ වගේම මලල ක්‍රීඩා සංගමයට සති අන්තයේ යොමුවන ඊ-මේල් බලන ක්‍රමවේදයක් නොමැතිවීම විශාල දුර්වලකමක්. මොකද ජාතික සංගමයක් කියන්නේ සති අන්තයේ නිවාඩු ගන්න ආයතනයක් නොවෙයි" යැයි ක්‍රීඩාවේ ප්‍රවීණයෙක් මේ සම්බන්ධයෙන් 'අරුණ'ට පැවසීය.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳ ඊයේ (28 වැනිදා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ මලල ක්‍රීඩා ආයතනය, ඉල්ලා අස්වීමෙන් ඉදිරි තරගාවලි නියෝජනයට හෝ ක්‍රීඩක තේරීම් සඳහා බාධාවක් නොමැති බවත්, නව තේරීම් කමිටුව ඉදිරි දින කිහිපය තුළ පත්කරන බවත් නිවේදනය කළේය.

